‘ද ෆිනෑන්ස්’ අවුල් කරාට අගමැති මහබැංකුවට දොස් කියයි

ද ෆිනෑන්ස් සමාගම කඩාවැටීම නිසා මේ වනවිට එහි තැන්පත්කරුවන් දහස් ගණනක් දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටින බවත් එවැනි අර්බුදයක් නිර්මාණය වීම සම්බන්ධව මහබැංකුවේ නිලධාරීන්ට අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැඩිව දොස් පැවරුවේය.

ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන කඩාවැටීමකට ලක්වෙනවා නම් එහි සම්පූර්ණ වගකීම මහ බැංකුව භාරගත යුතු බව ද අගමැතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කර සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ පැවති සාකච්ඡාවේදී මහබැංකුවේ නිලධාරීන් ‘ද ෆිනෑන්ස්’ සමාගම කඩාවැටීම සම්බන්ධව කරුණු දැක්වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය ආයතනවල වත්මන් තත්ත්වය සහ ඒවායේ අනාගතය පිළිබඳව සාකච්ඡා කොට ඉදිරි පියවර ගැනීම සඳහා පැවති මෙම සාකච්ඡාවට අගමැතිවරයා සමඟ මැති ඇමැතිවරු කිහිපදෙනෙක්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති හා මහ බැංකුවේ මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ ලේකම්, නීතිපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


මහබැංකුව යටතේ පවතින මූල්‍ය ආයතන හා ඒවායේ ක්‍රියා ක්‍රියාකාරිත්වය මෙන්ම වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලු හා ඉදිරි සැලසුම් පිළිබඳව මහ බැංකු අධිපති අධිපතිවරයා ප්‍රමුඛ එහි නිලධාරීන් දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත. මේ වනවිට කඩා වැටීමට ලක්ව තිබෙන ද ෆිනෑන්ස් සමාගම හා ඊටීඅයි ආයතනය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කළ අතර එහි තැන්පත්කරුවන් වෙනුවෙන් ගත හැකි පියවර පිළිබඳව අගමැතිවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා සිටියේය.

ඊටීඅයි ආයතනයෙහි තැන්පත් තැන්පත්කරුවන් මේ වනවිට අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුව සිටින බැවින් ඔවුන් සම්බන්ධව මහබැංකුවට පියවරක් ගත නොහැකි බවත් ද ෆිනෑන්ස් සමාගම තැන්පත්කරුවන්ට ගෙවීම් කළ හැකි බවත් මහ බැංකු නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

ඒ අනුව පවතින එකඟතා හා නීතිමය තත්ත්වය තුළ ‘ද ෆිනෑන්ස්’ සමාගම් තැන්පත්කරුවන් 90%ට රුපියල් ලක්ෂ 6 බැගින් ගෙවිය හැකි නමුත් මහා පරිමාණ තැන්පත්කරුවන් 7% වන පිරිස් සම්බන්ධව ඉදිරියේ දී පියවර ගතයුතු බව මහ බැංකු නිලධාරීන් කරුණු පැහැදිලි කර ඇත.

පසුගිය කාලයේ මහ බැංකුව නිසා සිදු වූ ඇතැම් සිදුවීම් රටම ප්‍රශ්න ගණනාවක්ට මුහුණ පෑමට සිදු වූ බවක් ‘ද ෆිනෑන්ස්’ වැනි ආයතන කඩා වැටීම, එහි තැන්පත්කරුවන් හා ඔවුන්ගේ දරු පවුල් දැඩි අපහසුතාවන්ට පත්ව සිටින බැවින් මෙම තත්වය වලක්වා ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතන ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑම සඳහා දැඩි විමසිලිමත්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතීතයේ සිදු වූ වැරදි නැවත සිදු වීමට ඉඩ නොතබා සුරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම සඳහා සිය පාලන කාලය තුළ කැපවන බව මහ බැංකු අධිපතිවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කරනු ලැබීය.

Exit mobile version