දේශපාලන මැදිහත්වීම නැවතිලා නෑ… වනජීවී නිලධාරීන් හෙට යළිත් සංකේත වර්ජනයක

ජාතික ජලගැලුම් නිම්න රක්ෂිතය දේශපාලකයින්ගෙන් බේරාගන්න නිලධාරීහු රොද බඳිති..

අත්තනෝමතික දේශපාලන තීන්දුවලින් පරිසර පද්ධතියක් විනාශ වී ජාතියම ව්‍යසනයට පත්වීම  වැළැක්වීම සඳහා වනජීවී නිලධාරීන් හෙට  (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක  පැවසිය.

ඔහු ඒ බව පැවසුවේ අද  (06) දින මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.  සංකේත වැඩ වර්ජනය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක් වු සභාපති  ප්‍රභාෂ් කරුණාතිලක කියා සිටියේ පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනීතිත කටයුතු සිදු කිරිම සඳහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්න බවය.

“ අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා  මට්ටමින් විසඳුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නෑ. ඒ නිසා හෙට (07) දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. අප මේ මැදිහත් වීම කරනනේ ගහකොල සහ සතා සීපාවුන් වෙනුවෙන්…“


හෙට  (07) දිනයෙත් ක්‍රියාත්මක වන්නේ සංකේතාත්මක වැඩ වර්ජනයක්.  කැබිනට් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මාධ්‍යය ඔස්සේ යහපත් ප්‍රතිචාර යොමු කරලා තියෙනවා. ඇමතිවරයාගේ මැදිහත්විම අපි බලාපොරෙත්තු වෙනවා. එතෙක් සංකේත වැඩ වර්ජනය සිදු කරනවා.“ යැයි පැවසීය.

වන අලින්ගේ ප්‍රධාන පැවැත්ම සහතික කරන   ජල ගැළුම් නිම්න රක්ෂිතයට ගවයන්  ඇතුළු කළ හොත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේම අලි මිනිස් ගැටුම වලක්වන්න බැරි වෙන බව වනජීවි නිලධාරීහු පෙන්වා දෙති.

මේ රක්ෂිතයට දිනකට ගවයන් විසිදහසක් තිස්දහසක් පමණ ප්‍රමාණයක් ඇතුළු කරන බව වාර්තා වේ. එසේ   කරන එක් ගවයෙක් දිනකට කිලෝ 40 ක් පමණ ආහාරයට ගන්නා බවත් ගවයන් පස් දෙනෙක් අලියෙකුගේ දිනක ආහාර ප්‍රමාණය නැති කරන බවත් වනජීවි නිලධාරීහු පෙන්වා දෙති..

වනජීවී නිලධාරීන්  පෙන්වා දෙන පරිදි රක්ෂිතය මැදින් ඉදිවන්නේ කිලෝ මීටර 11.5ක්  දිගු මාර්ගයකි. මෙම මාර්ගය සාමාන්‍යයෙන් වසරකට දෙවරක් ජලයෙන් යටවේ. මේ ගම් වාසීන්ට කිලෝ මීටර 30 පමණ දිග කාර්පට් ඇතිරූ මාර්ගයක් මහවැලියෙන් ලබා දී තිබිය දී  මෙවැනි මාර්ගයක් අවශ්‍ය වන්නේ කුමක් සඳහා දැයි වනජීවී නිලධාරීහු විමසා සිටිති.

“ 1984 දි මේ බිම රක්ෂිතයක් බවට පත් කළ යුත්තේ ඇයි කියලා සඳහන් කරලා තියෙනවා.  අවුරුදු 34 භාවිතා නොකළ මාර්ගයක් ඇයි දැන් අවශ්‍යය වෙන්නේ?. මහවැලි ගඟේ වැලි නිධි හරහා තමයි මෙම මාර්ගය ඉදි කරන්න හදන්නේ. මෙම මාර්ගය හරහා වෙනත් නීති විරොධී  කටයුතු සිදු කිරිමට තමයි මේ සැලසුම් කරන්නේ මේ සැලසුම අතිශයින්ම බිහිසුණුයි.   “

මහැවැලි නිම්නයේ වැලි ගොඩ ගත්තොත් මුහුදු ජලය රට තුළට එනවා. ඒ තුලින් පරිසර පද්ධතියේ ලවණතාවය වැඩි වෙලා මුළු පද්ධතියම විනාශ වෙනවා. පොලොන්නරුව මුහුදු මට්ටමට  ඉතාමත් පහතින් තියෙන ප්‍රදේශයක්. ඒ නිසා භුගත ජලය සමග මේ ලවණතාවය මිශ්‍ර  වෙන්න තියන ඉඩ කඩ වැඩියි. අපි මේ කතා කරන්නෙ විරෝධය දක්වන්නේ මේ පොළොවෙ පැවැත්ම සහතික කරන්න.“ ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක වැඩිදුරටත්  පැවසිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහවැලි ගඟේ පිටාර ජලයෙන් පෝෂණය ලබන විල්ලු සහිත තෙත්බිම් පරිසර පද්ධතියක් වන ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ ශ්‍රී ලංකාවේ ‘විල් අලි’ ලෙස හැඳින්වෙන අලි උප විශේෂය දක්නට ලැබෙන භූමියකි. මහවැලි සංවර්ධන ව්‍යාපෘතියට වනාන්තර අක්කර ලක්ෂයකට වඩා එළිපෙහෙළි කිරීම නිසා ඉන් අවතැන්වන වනසතුන් සඳහා මෙම ජාතික වනෝද්‍යානය ඇතුළු වනෝද්‍යාන කිහිපයක් ප්‍රකාශයට පත්කර කෙරුණි.  වර්ෂ 1984 වසරේ අගෝස්තු 07 දිනැති අංක 309/4 දරන ගැසට් පත්‍රයේ පළවූ නියෝගයක් මගින් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් විය.

 

Exit mobile version