තීරණ කීපයක් ගන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සදුදා රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීම්ක් සඳුදා (8) සවස එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීම එජාප ව්‍යවස්ථාව උල්ලංඝනය කළ එම පක්ෂයේ නගරාධිපතිවරු උප නගරාධිපතිවරු ප්‍රාදේශීය සභා ප්‍රාදේශීය සභා සභාපතිවරු, උපසභාපතිවරු, විපක්ෂ නායකවරු හා මන්ත්‍රීවරු එම තනතුරුවලින් ඉවත් කිරීම් සම්බන්ධව අවසන් තීරණයක් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ගැනීමට නියමිතව ඇත.

ජාතික සමගි ජන බලවේගය යටතේ මෙවර මහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරනු ලැබූ අතර ඒ සියලු දෙනා විනය පරීක්ෂණයකට කැඳවීමේ ලිපි සදුදා දින යැවීමට ද නියමිතය. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් හා මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පිළිපදිමින් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් කිරීම සඳහා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කොට තීන්දු තීරණවලට පැමිණීමට නියමිතය.


කුමන ආකාරයට විනය පරීක්ෂණ පැවැත්වුවත් සමගි ජන බලවේගය සමග එක්ව සිටින කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවත් ඔවුන් සියලු දෙනා අදටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බවත් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් පැවසීය.

සමගි ජන බලවේගය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පක්ෂ නායකත්වයේ පූර්ණ අනුමැතිය ලබාගෙන බව පවසන රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඒ බව නීත්‍යානුකූලව ඔප්පු කිරීමට අවශ්‍ය සියලූ සාක්ෂි තමන් සතුව තිබෙන බව අනාවරණයය කළේය.

1994 සිට එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය ගන්නා ලද කිසිදු තීරණ සම්බන්ධව තමන් සහ සමගි ජන බලවේගය සමග එක්ව සිටින අයට නිසි අවබෝධයක් තිබෙන බැවින් මෙවැනි තීන්දු සම්බන්ධව තමා හෝ ජන බලවේගයේ සාමාජිකයින් කිසිදු කලබලයකට පත් නොවන බව වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ මහා මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට සන්ධානයක්, පෙරමුණක් සෑදීම් සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවසරය දුන්නද අලුතින් පක්ෂයක් නිර්මාණය කිරීමට හෝ එහි සාමාජිකත්වය ලබාගැනීමට කිසිදු අනුමැතියක් ලබා දී නැති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අය සම්බන්ධව මින් ඉදිරියට කිසිදු සමාවක් දීමේ හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරන ඒ මහතා පක්ෂයේ ව්‍යවස්ථාව කඩ කළ ඔවුන් සියලුදෙනාට නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

Exit mobile version