ඩොලර් මිලියන 800ක අයි.එම්.එෆ් ණයක්! – අර්බුදයෙන් ගොඩ එන්න ඒකත් මදි!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින විදේශ සංචිත අර්බුදය සමනය කිරීමේ අරමුණින් රජය නුදුරේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර නිලධාරීන් උපුටා දක්වමින් අද (11) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එසේ වුවද එම මුදල ද ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ තවත් ඩොලර් බිලියන 1.2ක් පමණ මුදලක් ණය හෝ ආයෝජන වශයෙන් ශ්‍රි ලංකාව සොයා ගත යුතු පසුබිමක පවතින බව ද එම වාර්තාව සඳහන් කරයි.
මේ වනවිට මෙරට මූල්‍ය වෙළෙඳපොලේ දැඩි ඩොලර් හිගයක් නිර්මාණය වී ඇති අතර ශ්‍රි ලංකාවේ විදේශ සංචිත වාර්තාගත ලෙස පහළ ගොස් ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය හමුවේ මේ වනවිට මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.2ක් දක්වා පහත වැටී තිබේ. මෙම මාසය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය වරිකයක් ගෙවීමට පවතින අතර එම මුදල ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 800ක ණය මුදල වැදගත් වනු ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රි ලංකාව එම ණ මුදල අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර අරමුදලේ පවතින විශේෂිත ණය ලබා ගැනීමේ අයිතිවාසිකම (SDR – Special Drawing Rights) නම් අරමුදල හරහාය. මෙම අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම සාමාජික රටවල විශේෂ සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ම පිහිටුවන ලද විශේෂිත අරමුදකි. එ අනුව මෙම අර්බුදකාරී අවස්ථාවේ එම අරමුදලින් ණය ලබා ගැනීමේ සැලසුමක් පිළිබඳව මේ වනවිට අරමුදල සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබේ.
එසේම මෙතෙක් ප්‍රකාශ නොකළ විදේශ අරමුදල් ශ්‍රි ලංකාවට යළි ගෙන ඒමේ සහන කාලයක් මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇති අතර එලෙස පැමිණෙන විදේශ අරමුදල් සඳහා සියයට 1ක බද්දක් අය කෙරෙන අතර ‍මෙම යෝජනාව සඳහා පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය. ඒ අනුව එවැනි අරමුදල් මෙරටට ගෙන එන්නන්ට ලබන දෙසැම්බර් මස31වැනිදා දක්වා එම සහනය හිමි වේ.

Exit mobile version