ඩොලර් බිලියනය ගෙවයි – සංචිත යළි හැදෙන හැටි ඇමති කබ්රාල් කියයි

ajith nivad cabraal

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවට මෙම මාසය තුළ ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඊයේ (26) දින ගෙවීම් නියෝජිතයන් හරහා ගෙවා නිම කළ බවත් ඊට අදාළ නිල ලේඛන අද දින හුවමාරු වනු ඇති බවත් මුදල් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාසරට පැවසීය. මෙම ගෙවීමත් සමඟ ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3ක් දක්වා පහත වැටුණද ඉදිරි මාස තුන තුළ ශ්‍රි ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු බිලියන 7ක් දක්වා ඉහළ දැමිය හැකි වනු ඇතැයි අමාත්‍ය කබ්රාල් මහතා තවදුරටත් සඳහන් කළේය.
අමාත්‍යවරයාට අනුව ඉදිරි මාස තුන තුළ ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.65ක අරමුදල් ලැබීමට නියමිතය. විශේෂයෙන් රටවල් කිහිපයක් සමඟ මේ වනවිට ඇති කරගෙන තිබෙන ස්වැප් මූල්‍ය සහන වැඩපිළිවෙළ මත මෙම අරමුදල් පැමිණීමට නියමිතය.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසන්නේ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කුත්, බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක්,චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 300කට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක් ද ලබා ගැනීමට රජය සූදානම් වෙයි. ඊට අමතරව මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ණය වෙළෙඳපළෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 200කුත් දේශීය බැංකු සතුව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඃඳුම්කර හරහා ලැබීමට නියමිත ඩොලර් මිලියන 300ක් සහ දැනට ඌණ භාවිතාවේ පවතින සම්පත් උපරිම භාවිතාවෙන් ඩොලර් මිලියන 400කුත් ලබා ගැනීමට රජය අදහස් කරන අතර මෙම අරමුදල් සමඟ විදේශ සංචික ඩොලර් මිලියන 7ක් දක්වා ඉහල නංවාගත හැකි බව පෙන්වා දුන්නේය. මීට අමතර ව ශ්‍රි ලංකා මහ බැංකුව චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගැනීම පිළිබඳවද කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version