ජේ.ආර්.ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ කතාවට කළ ගුණ සලකන්න 16 වසරක් පුරා ලංකාවේ දරුවන් වෙනුවෙන් කැප වුන ජපන් යුවල… 

සූරියවැව නුවන් ජයසේකර –

වසර 16ක් තිස්සේ ලංකාවට පැමිණ ලංකාවේ මුල් ළමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්වය නගා සිටුවීම සදහා උපකාර කරන අපූරු ජපන් යුවලක් ඊයේ (06) හම්බන්තොට වැලිගත්ත ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේදී අපට මුණ ගැසුණි.

මෙලෙස අපට හමු වූ මෙම අපුරු ජපන් ජාතික යුවල දැනට වසර 16ක් තිස්සේ ලංකාවට පැමිණ ලංකාවේ මුල් ලමාවිය දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණ තත්වය නගා සිටුවීමට විවිධ වැඩසටහන් පවත්වමින් සිටිති.

ඒ අනුව මෙම ජපන් ජාතික යුවල හම්බන්තොට වැලිගත්ත පිහිටි ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේ දරුවන් 45 දෙනෙකු සඳහා විශේෂ සෞඛ්‍ය කදවුරක් පැවැත් වූ අතර වෛද්‍ය කඳවුරෙන් පසු සියළුම දුවා දරුවන් සඳහා එළඹෙන වසරට අවශ්‍ය සියළුම පොත් පත් පරිත්‍යාග කිරිමක් සිදු කෙරුණු අතර සියළුම දරුවන් සදහා රුපියල් 7000ක පමණ මූල්‍ය වටිනාකමක් ඇති වියළි ආහාර මල්ලක් ලබා දිමද සිදු කෙරුණි.

මෙම අගය කල යුතු අපූරු කටයුත්ත සෑම වසරකම සිදු කරනු ලබන්නේ ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති 65 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   හා ඇයගේ සැමියා වන 67 හැවිරිදි යොෂිනිතිය.


කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   හා ඇයගේ සැමියා යොෂිතිනි… දරුවන් සමග….

මෙම දෙපළ විසින් මුදල් වියදම් කර ලංකාවේ වැලිගත්ත ප්‍රදේශයේ පිහිටුවා ඇති යහළුවා ශ්‍රී ලංකා පෙර පාසල මුල් කර ගනිමින් සෑම මාස දෙක තුනකට වරක් මෙලෙස විවිධ වැඩසටහන් පවත්වාගෙන යයි. ඒ අනුව මෙවරද මෙම ජපන් ජාතික යුවල විසින් මෙම පෙර පාසලේ දරුවන් 45 දෙනෙකු සදහා රුපියල් ලක්ෂ 10ක පමණ මුලක් වියදම් කරමින් පෙරපාසල් දරුවන්ට විවිධ පරිත්‍යාග රැසක් හා පෙර පාසල සදහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක්ද සිදු කෙරුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්   ජපානයේ නගෝයාහි SYS ආයතනයේ සභාපති 65 හැවිරිදි කසුකෝ හස්තෝරි (Kazuko Hasttori)   මෙලෙස පැවසුවාය.

මම දැන් වසර 16ක් තිස්සේ ගමන් වාර සියයකට වැඩි ප්‍රමාණයක් ලංකාවට ඇවිත් මේ කුඩා දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කරන්න හා ඔවුන්ගේ පෝෂණ තත්වය නගා සිටුවන්න අවශ්‍ය උපරිම ශක්තිය ලබා දෙනවා.

මේක අපි බොහොම ආශාවෙන් හා කැමත්තකින් කරන දෙයක්. අද වන විට අපිට ජපානයේ බෝ දෙනෙක් මේ සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. සුනාමියෙන් පසුව තමයි මම ලංකාවට පැමිණ මෙම ස්ථානයේ මේ ගොඩනැගිලි හදලා මේ පෙර පාසල ආරම්භ කිරිමට කටයුතු කෙරුණේ. 

වර්ෂ 1951 සැප්තැම්බර් මස 06 වැනිදා සැන් ෆැන්සිස්කෝ සාම සමුළුව අමතමින් ජේ.ආර් ජයවර්ධනයන් ජපානයේ ඉරණම වෙනස් කළ ඓතිහාසික කතාව සිදුකළ අයුරු…

ඉතින් අද මට ගොඩක් සතුටුයි.මේ පෙර පාසලෙන් ඉගෙන ගත්ත දරුවන් ගොඩක් දෙනෙක් හොඳට උසස් අධ්‍යාපන හදාරමින් සිටිනවා. මම ඒ සියළුම දරුවන්ට ආරාධනා කරනවා සිය උසස් අධ්‍යාපන කටයුතු වලින් පසුව ජපානයට එන්න කියලා. ජපන් ජාතිකයන් ලංකාවේ අයට පුදුම තරම් කැමැත්තක් දක්වන්නේ. ලංකාවේ හිටපු ජනාධිපති වරයෙකු වූ ජේ.ආර්.ජයවර්ධණ මහතා එදා සැන් ෆ්රැන්සිස්කෝ සාම සමුළුවේදි කළ කතාව ජපන් ජාතිකයන්ට කිසිදා අමතක වෙන්නේ නැහැ. එතුමා එම සාම සමුළුව අමතමින් කළ කතාව ජපානය ආරක්ෂා කළා. ඒ නිසා තමයි අපි අදටත් ලංකාවට පැමිණෙමින් ලංකාවේ දුවා දරුවන්ට ඉගෙන ගන්න හා ඔවුන්ගේ පෝෂණය නගා සිටුවන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්නේ යැයි පැවසුවාය.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාව සදහා ජපානයේ නගෝයාහි SYS ආයතනයේ ලංකාවේ අධ්‍යක්ෂක පුෂ්ප කුමාර ජයතිලක, වැලිගත්ත ශ්‍රී යහළුවා ශ්‍රී ලංකා පෙර පාසලේ ප්‍රධාන විදුහල්පතිනී කුමාරී වීරසිංහ, ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටිය.

Exit mobile version