ජනාධිපතිට අගමැතිට ආත්ම ගෞරවයක් තිබේ නම් කරුණා අත්අඩංගුට ගත යුතුයි

වෙන රටක මේ බරපතල ප්‍රකාශය කළා නම් අද ඉන්නේ බන්ධනාගාරයෙ... ආචාර්ය ඕමල්පේ සෝබිත හිමි

මේ රටේ ජනාධිපතිට හා අගමැතිට ආත්ම ගෞරවයක් තිබේ නම් කරුණා අම්මාන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත්, එසේ කරන්නට හැකියාවක් නැතිනම් ත්‍රිවිධ හමුදාව මැදිහත් වී ඔහුව අත්අඩංගුවට ගත යුතු බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට පැවසූහ.

මේ වනවිට යුද්ධය නිමා වී යුද්ධය මෙහෙයවූ නායකයන් රටේ පාලන සිදුකරන අවස්ථාවක මොහු වැනි පුද්ගලයන් මෙවැනි නිර්භීත ප්‍රකාශ කරනු ලබන්නේ දේශපාලන අධිකාරිය විසින් ඔහුව ආරක්ෂා කර රැකවරණය සපයන බවට සහතිකයක් ඇතිව බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“ ත්‍රිවිධ හමුදාව කියන්නේ මේ රටේ ආරක්ෂාවට රාජ්‍ය අනුමැතිය සහිතව නීත්‍යානුකූලව කැපවුණු පිරිසක්.  මේ අය ඝාතනය කිරීම සම්බන්ධව කරන මෙම ප්‍රකාශයේ ගැඹුර බලනවා නම් ඇත්ත වශයෙන්ම මේ පාලකයන් මේ පුද්ගලයාට එක මොහොතක්වත් නිදැල්ලේ ඉන්න හරින්නෙ නෑ. ඔහුව අත්අඩංගුවට අරන් තියෙන්න ඕන. වෙන රටක මේ වගේ බිහිසුණු ප්‍රකාශයක් කවර හෝ පුද්ගලයෙක් කළා නම් ඔහු මේ වන විට බන්ධනාගාරයේ.


“ මම අහනවා නීතිපති මොනවද කරන්නෙ. ඌවතැන්නෙ සුමන හාමුදුරුවො ගිනි අවියක් ලඟ තියා ගත්තා කියලා ජිවිතාන්තය දක්වා බන්ධනාගාරගත කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න හැදු රටක් මේක.  සුලු වැරදි වලට අවුරුදු ගණන් හිරේ විලංගුවෙ වැටෙන රටක් මේක.  ඒ වගේ රටක ත්‍රිවිධ හමුදාවේ පන්දාහක් මැරුවා කියලා ප්‍රසිද්ධියෙ කියන නරුමයෙක් සම්බන්ධව මොනවද නීතිපති කරලා තියෙන්නෙ.  මෙතැනදි තව සාක්ෂි විමසන්නෙ මොකට ද?. එසේ සාක්ෂි විමසිය යුතු දෙයක් තියනව ද?. පන්දාහක් මැරුවා කියලා මේ පුද්ගලයා ඔහුගෙ මුවින් ප්‍රකාශ කරනවා. මිනී මරුම් පන්දාහක්…. මේක තමයි හොඳම සාක්ෂිය.

අද බලන්න. එදා ආරක්ෂක ලේකම් අද ජනාධිපති. එදා ජනාධිපති අද අගමැති. එදා යුද්ධය මෙහෙයවපු ප්‍රධානීන් අද ආරක්ෂක ලේකම්වරු. මේ ප්‍රධානීන්ට මොහු අද කියනවා උඹලාගෙ පන්දාහක් මැරුවෙ මම කියලා..

මේක දෛවයේ සරදමක්. ආරක්ෂක හමුදාවල 26000ක් ජිවිත පුජා කරලයි යුද ජයග්‍රහණය ලබා ගත්තේ. ඔවුන්ගේ ලේ කඳුළු මතින් තමයි මේ රට බේරුණේ. එහෙම බේරගත්ත රටේ මේ වගේ ප්‍රකාශයක් කර නිදැල්ලේ ඉන්න පුලුවන් නම් ඒක පුදුමයක්. පසුගිය කාලේ මේ පුද්ගලයට ශ්‍රී.ල.නි.ප උප සභාපතිකම දුන්නා. ඇමතිකම් දුන්නා. මොහු දැන් දන්නවා මේ පාලකයින් නිවටයින් බව. ඒ නිසා ඔහු ඔහුගෙ එඩිතරකම පෙන්වනවා.

මා නැවත වරක් කියන්නෙ මේ නෝංජල් පාලකයින් ඉදිරියට පැමිණ මේ තැනැත්තා අත්අඩංගුවට ගත යුතුයි. මේ පුද්ගලයා වෙනුවෙන් රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් වහාම මේ කටයුත්තේ දී ත්‍රිවිධ හමුදාව මැදිහත් විය යුතුයි. කෙසේ වෙතත් අපි හෙට මේ සම්බන්ධව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝබිත හිමියෝ වැඩි දුරටත් ලංකාසර අමතා ප්‍රකාශ කළහ.

 

Exit mobile version