ජගත් සංවිධානයේ ජිනීවා කාර්යාලය ලබන 8 වැනිදා සිට යළි විවෘතයි..

කොවිඩ්-19 හෙවත් නව කෙරෝනා වසංගතය හේතුවෙන් ස්විටර්ලන්තයට තුළ ප්‍රකාශයට පත්කර තිබූ සීමාවන් ලබන 19 වැනිදා සිට අවසන් කිරීමත් සමග ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය ද යළි විවෘත කිරීමට සූදානම් වෙයි.

ලබන 6 වැනිදා සිට එම සීමා පුළුල් ලෙස ලිහිල් කරන ස්විස්ටර්ලන්ත ෆෙඩරල් කවුන්සිලය තීරණය කර ඇත. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් තතියානා වොලෝවායා පවසන්නේ ලබන 8 වැනි දා සිට මුල් අවස්ථාවේදී එහි නිලධාරීන් සීමිත පිරිසක් සමග රාජකාරි අරඹන බවයි.

සුපරීක්ෂාකාරීව සිටීම සහ ආරක්ෂිත දුරස්ථභාවය පවත්වා ගෙන යාම,සනීපාරක්ෂාව අනුගමනය කිරීම මෙන්ම විද්‍යුත් සන්නිවේදනය රාජකාරි කටයුතු සදහා හැකිතරම් භාවිත කිරීම අඛණ්ඩව සිදුකිරීමට ස්විස් බලධාරීන් මෙන්ම ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලය ද තීරණය කර ඇත.


මේ අනුව ජිනීවා කාර්යාලයේ විද්‍යුත් සන්නිවේදනය ඔස්සේ සිදුකෙරෙන රාජකාරි තවදුරටත් දුරස්ථ ලෙස පවත්වාගෙන යන අතර රැස්වීම් පැවැත්වීම සම්බන්ධ මෙතෙක් පැවැති සීමා ලිහිල් කෙරෙනු ඇති බැවින් රැස්වීම් පැවැත්වීම යළි ආරම්භ කිරීමට නියමිතය.

ජුනි 6 වන දින සිට පුද්ගලයින් 300 ක් දක්වා රැස්වීම්, හමුවීම් ආදියට ඉඩ ලබා දී ඇති අතර, සහභාගිවන්නන් සහ කාර්ය මණ්ඩලය සඳහා නව කොරෝනා වයිරසයේ අවදානම අවම කිරීම සඳහා ආරක්ෂක සැලැස්මක් සකස් කිරීම හා ඒ සඳහා සිදුකළ යුතු සියල්ල සම්බන්ධයෙන් සංවිධායකයින් වෙත වගකීම පවරා ඇත.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය තුළ අවශ්‍ය පූර්වාරක්‍ෂක පියවරයන් දැඩි ලෙස පිළිපැදීමෙන්, නියමිත වේලාවට, පරිශ්‍රයේ සම්මන්ත්‍රණ කටයුතු ක්‍රමයෙන් හා ආරක්ෂිතව නැවත ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සිය නිවේදනය ඔස්සේ සදහන් කර තිබේ.

මේ දක්වා, ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ මානව හිමිකම් කවුන්සිලය සහ නිරායුධකරණය පිළිබඳ සම්මේලනය නැවත ආරම්භ කිරීම සඳහා සාමාජික රටවල නියෝජිතයන් ජිනීවා සමග සම්බන්ධ වී ඇත. එහි සභාපතිවරුන් දෙදෙනා සමඟ සම්බන්ධීකරණය වෙමින් මෙම රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන් වඩාත් සමබර විසඳුම් සෙවීමට ජිනීවා කාර්යාලය දැඩි උත්සාහයක් දරන බවත් ආරම්භක අදියරේදී වරකට එක් විශාල රැස්වීමක් පමණක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඇය පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජිනීවාහි ජගත් සංවිධාන කාර්යාලය යළි විවෘත කිරීම සදහා ක්‍රමානුකූලව ඒහි කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් ලබන 4 වැනිදා ඔන්ලයින් රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී චැට් (chat) මගින් සංවාදය කරගෙන යා හැකි බවට නිලධාරීන්ට දන්වා තිබේ.

Exit mobile version