චීන පොහොර සමාගමට මුදල් ගෙවීම තවදුරටත් අත්හිටුවයි

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන එමින් සිටි බව කියන චීන සමාගමට, හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝකරන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියෝග කළේය.

රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ජීවානුහරණය කළ කාබනික පොහොර ලංකාවට ගෙන්වීමේ ටෙන්ඩරය ලබාගත් වගඋත්තරකාර “කුවින්ඩාඔ සිවින් බයෝටෙක් ගෲප් කම්පනි” නමැති චීන සමාගම එම ටෙන්ඩරය ක්‍රියාත්මක කරමින් පොහොර තොගයක් ලංකාවට එවීමට පියවර ගත් බව පෙත්සම්කාර , ලංකා පොහොර සමාගම වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිස්ටර් ජනරාල් සුසන්ත බාලපටබැඳි මහතා මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේය.

ඒ අනුව ජීවානුහරණය කළ කාබනික පොහොර මෙරටට නැව්ගත කිරීමට අවශ්‍යව තිබූණ ද එම කාබනික පොහොරවල ක්ෂුද්‍ර ජීවීන් සිටින බව අදාළ සමාගම නැව් උපදෙස් පත්‍රිකාව මගින් පිළිගෙන ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.


ජාතික ශාක නිරෝධායන සේවය වෙත වගඋත්තරකාර චීන සමාගම විසින් යවා ඇති පොහොර නියැදිය පරීක්ෂා කිරීමේදී එහි ඇතැම් පොහොර කොටස්වල හානිකර බැක්ටීරියා ඇතුළු ජීවින් සිටින බව තහවුරු වී ඇතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය මත වගඋත්තරකාර චීන සමාගම ටෙන්ඩරයේ පිළිගෙන තිබූ කරුණු සම්පූර්ණ කොට නැතැයි ඔහු චෝදනා කළේය.

Exit mobile version