චීනයේ සිනෙවැක් ලබාදුන් චීලි රාජ්‍ය තෙවන මාත්‍රාවට ඇස්ට්‍රාසෙනිකා දෙන්න යයි

චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා එන්නත ලබාගත් චීලී රාජ්‍ය වැසියන්ට තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.

චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබෙස්තියන් පිනේරා විසින් ඊයේ (05) රූපවාහිනී නාලිකා ඔස්සේ ජාතිය අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එළැඹෙන 11 වැනිදා සිට එරට වයස අවුරුදු 55 වැඩි සියලුදෙනාට තෙවන එන්නත් මාත්‍රාව ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට නියමිතය.


මෙහිදී ඉකුත් මාර්තු 31 වැනිදාට පෙර දෙවන එන්නත් මාත්‍රාව ලබාගත් පිරිසට ප්‍රථමයෙන් තෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බවද චිලී ජනාධිපතිවරයා ප්‍රකාශකර තිබේ.

ලොව සාර්ථකම එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ චීලි රාජ්‍ය එරට ජනගහනයෙන් සියයට හැටකට අධික පිරිසට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට පියවරගෙන තිබිණි. ඒ සඳහා ඔවුන් චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත බහුල වශයෙන් යොදා ගෙැනිණි.

මීට සති කිහිපයකට පෙර එරට කළ පරීක්ෂණයකින් අනාවරණය වූයේ සිනොවැක් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදී මාස කිහිපයක් ගතවීමෙන් පසුව එහි ක්‍රියාකාරිත්වය අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

මේ අතරම එම පරීක්ෂණ වලින් මේවන විට ලොව පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයට සිනොවැක් එන්නත අවම මට්ටමේ ප්‍රතිචාර දැක්වීමක් සිදුකරන බවද අනාවරණය විය.

එසේම මීට දින කිහිපයට පෙර සිනොවැක් එන්නත බහුල වශයෙන් ලබාදුන් කාම්බෝජයද ඇස්ට්‍රසෙනිකා එන්නත තෙවන මාත්‍රාවක් වශයෙන් ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබිණි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම කල්මන ලෙස සියලු රටවලින් ඉල්ලීමක් කර ඇති අවස්තාවක චීලී රාජ්‍ය තමන් තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නා බව නිවේදනය කිරීමටද විශේෂත්වයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වන විට ජර්මනිය, ප්‍රංශය සහ ඊශ්‍රායලයට අමතරව චීලි රාජ්‍යද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීමට පිටු පෑ රටවල් අතරට එක්ව තිබේ.

Exit mobile version