චීනයට ඕනෑ විදිහට පොහොර ප්‍රමිතිය වෙනස් කළ ලියවිල්ල න්‍යාය පත්‍රයට පිටින් අද  කැබිනට් අනුමැතියට?

චීන පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන්  සකස් කර පසුගිය 23 දා  අනුමැතිය සඳහා ක්වින්ඩාවේ සී වින් බයෝටෙක් සමාගමට යැවූ ලිපියේ චීන සංස්කරණය සහිත ලිපි ගොනුව අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසුවත් එය කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකර හදිසි ලියැවිල්ලක් ලෙස කැබිනට් රැස්වීම අතරේ ඉදිරිපත් වීමට ඉඩ ඇතැයි සැකයක් මතුවන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම ලිපිගොනුව කැබිනට්  අනුමැතිය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ හෝ කෘෂිකර්ම අමාත්‍යාංශයේ යෝජනාවක් ලෙස ඉදිරිපත් වීමට නියමිතව තිබුණු බව ඉකුත් සිකුරාදා වාර්තා විය.

එහෙත් එම ලිපි ගොනුවට අදාල ලියැවිලි ඊයේ පෙරවරුව වනවිටත් සම්පාදනය වෙමින් පැවති බවත්,  සිකුරාදා සකස් කරන කැබිනට් රැස්වීමේ න්‍යාය පත්‍රයට එය ඇතුළත් කර නැති බවත් ආරංචි මාර්ග හෙළි කරයි.


එසේ නමුත් කැබිනට් සම්ප්‍රදාය අනුව කැබිනට් මණ්ඩලයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නැති ලේඛන 03ක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්  කිරීමට හැකියාව තිබේ.

ඒ අවසරයෙන්  මෙම ලිපිගොනුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් වීමේ සූදානමක් ඇතිදැයි තතු දත් ආරංචි මාර්ග සැක පහළ කරයි.

මෙම කැබිනට් පත්‍රිකාවෙන් වර්ෂ 2013 දී මෙරට සම්මත කරන ලද ඝණ කාබනික ද්‍රව්‍ය රට තුළට ගැනීමේ ප්‍රමිතිය වූ 1704  ඉවත් කිරීමට චීන බලපෑම මත නිර්දේශ වී තිබේ.

රටේ ශාක සත්ත්ව ප්‍රජාවත් පාංශු වයනය සහිත සමස්ථ පරිසර පද්ධතියත් පිට රටකින් පැමිණෙන අතිශය අහිතකර ක්ෂුද්‍රජීවී උවදුරු වලින් බේරා ගැනීමේ පුරෝගාමී  රැකවරණය සැපයූ මෙම ප්‍රමිතිය වෙනස් වීම සමස්ථ ජාතියම පුනරුත්ථාපනය කළ නොහැකි ව්‍යසනයකට ඇද දමන බව ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ යළි යළිත් පෙන්වා දෙමින් සිටියහ.

චීන පොහොර  තොගය ව්‍යාධි ජනක බැක්ටීරියා  හේතුවෙන් ප්‍රතික්ෂේප වන්නේත් මේ ප්‍රමිතිය හේතුවෙනි. එමෙන්ම මෙම ප්‍රමිතිය වෙනස් කරනු ලැබුවහොත් දැනට චීන පොහොර තොගය සඳහා පවරා ඇති නඩුවට නඩු නිමිත්තක් ද නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම  මේ ලියැවිල්ල සඳහා කැබිනට් අනුමැති ලැබුණහොත් ඩොලර් හකෝටි හැත්තෑ ලක්ෂයක වන්දියක් ගෙවා යළිත් මෙම පොහොර තොගයම රට තුළට ගැනීමට සිදුවන බව මේ පිළිබඳව අප කළ විමසීමක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.

Exit mobile version