ගෝඨාට සහය දෙන්න ටී.එන්.ඒ එකෙන් කොන්දේසියක් 

දිනසේන රතුගමගේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටළුවලට විසදුමක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට සහය දැක්වීමට දෙමළ ජාතික සන්ධානය කැමැත්ත පල කරන බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා 11 දා යාපනයේදී පැවසීය.
යාපනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.
දෙමළ ජාතික සන්ධානය එදා සිට කටයුතු කරණු ලබන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට බව කී සුමන්තිරන් මහතා ඒ සදහා විශාල හා ඉතා දිගු ගමනක් යාමට සිදුවන බවද කියා සිටියේය.
මෙවර මහ මැතිවරණය තුළින් රජය අපේක්ෂා කරන්නේ තුනෙන් දෙකක බලයක් ගොඩ නගා ගැනීම බව පැවසූ සුමන්තිරන් මහතා එම බලය වෙනත් දේශපාලන පක්ෂ වල සහයක් නොමැතිව ලබා ගැනීමට උත්සාහයක නිරත්ව සිටින බවද කියා සිටියේය.
නමුත් ඒ උත්සාහය කොතෙක් දුරට සාර්ථක වේදැයි යන්න පිළිබදව විශාල සැකයක් පවතින බව කී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශකවරයා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් මතින් එය සාක්ෂාත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සහ කරණ බවද සදහන් කළේය.
රජයේ සෑම ආයතනයකටම යුද හමුදා නිලධාරීන් ප්‍රධානීන් වශයෙන් පත් කර ගනිමින් ගෙන යන උත්සාහයද තුනෙන් දෙකක බහුතර බලයක් සදහා සිංහල බෞද්ධ ඡන්ද පදනමක් ගොඩ නගා ගැනීම සදහා බවද සුමන්තිරන් මහතා පැවසීය.
රාජ්‍ය හා මහජන ආයතන සදහා යුද හමුදා නිලධාරීන් පත්කිරීම පාර්ලිමේන්තු සාම්ප්‍රදායට අනුව වැරදි ආදර්ශයක් බව කී සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවන් කටයුතු කරණ බවද කියා සිටියේය.
මේ පළාත් වල විවිධ සංවර්ධන කටයුතු සදහා දෙමළ ඩයස්පෝරාව විශාල සහයක් ලබා දෙන බවද සුමන්තිරන් මහතා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩි දුරටත් සදහන් කළේය.

Exit mobile version