දිනසේන රතුගමගේ
යාපනයේ සිට මඩකලපුව දක්වා අද (24) රෝගීන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක් කිළිනොච්චියේදී අනතුරකට ලක් වීමෙන් හතර දෙනෙකු තුවාල ලබා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මඩකලපුව රෝහලේ සිටි රෝගීන් තුන් දෙනෙකු හදිසි පරීක්ෂණ කීපයක් සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන විත් ආපසු මඩකලපුව බලා යමින් සිටියදී එම ගිලන් රථයට කිළිනොච්චියේදී යතුරු පැදිකරුවකු ගැටීම නිසා අනතුර සිදුව තිබේ.
යතුරුපැදිකරු හා ගිලන් රථයේ සිටි රෝගීන් තුන් දෙනා රෝහල් ගත කොට තිබේ.
අනතුරෙන් ගිලන් රථයටද හානි සිදුව තිබේ.
මෙම අනතුරට හේතුව ගිලන් රථ රියදුරු හදිසියක් නොමැතිව වූවද අධික වේගයෙන් ගිලන් රථය පැදවීම බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
කිළිනොච්චිය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







