ගව ඝාතනය නැවැත්වීම ගැන ජමියතුල් උලමාවරු කියන කතාව

cattle- slaughter

ගව මස් අනුභව කිරිම ඉස්ලාම් ධර්මයෙන් අනිවාර්ය කර නැති බව ශ්‍රී ලංකා මුස්ලිම් ආගමික විද්වත් සභාවේ මාධ්‍ය ප්‍රකාශක පාදිල් පාරුක් මව්ලවි තුමා ලංකාසරට පැවසූහ.

යම් අයෙකුට ගව මස් අවශ්‍යම නම් එය වෙනත් රටකින් මෙරටට ආනයනය කර  ලබා ගත හැකි බවත් ඒ සඳහා වන ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් ඇතිකළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ගව ඝාතනය නිසා ශ්‍රි ලාංකීය සමාජය තුළ කිසියම් බෙදීමක් ඇතිවෙනවා නම් වෛරයක් ඇතිවෙනවා නම්, ක්‍රෝධයක් ඇතිවෙනවා නම් එවැන්නකට ඉඩ නොතබා මුස්ලිම් සමාජය විකල්පයක් සොයාගත යුතු බව පෙන්වා දෙන මවුලවි තුමා රටක නීතයක් ක්‍රියාත්මක වෙනවා නම් එක් ජනකොටසකට පමණක් ඒ නීතියට අවනතෙ නොවී ක්‍රියාත්මක විය නොහැකි බව අවධාරණය කළහ.


ගව ඝාතනය නතර කිරීම සදහා එය තහනම් කරමින් නව නීතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කළ බවත්, එවැන්නක් සම්බන්ධව මෙතෙක් ආණ්ඩුව පැත්තෙන් හෝ වෙනත් පාර්ශවයක් තම සංවිධානය සමග සාකච්ඡා කර නොමැති බවත්  මවුලවි තුමා කීවේය.

ගව ඝාතනය සම්බන්ධව සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මුස්ලිම් සමාජය බව මේවනවිට රටේ මතයක් ගොඩනැගී තිබෙන අතර ඒ මතය දුරු කර සියලු ජන කොටස් එකිනෙකාට  උදව් කරමින් එකමුතුව  ජීවත් විය හැකි රටක්   ලෙස ශ්‍රී ලංකාව පත් ගැනීම සඳහා හැමෝම ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්හ.

ගව ඝාතනය එකවර නවතා දැමීමෙන් ඒ ආශ්‍රිතව පවතින වෙළෙඳ ව්‍යාපාරිකයන්ට හා රැකියාවලට යොමුව ජීවත් වෙමින් සිටි පිරිසකට දැඩි අර්බුදයක් අත්විය හැකි බවත්,   මේ සියල්ල සඳහා විකල්ප ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් සලසා දෙනු ඇතැයි තම සංවිධානය අපේක්ෂා කරන බව පැවසූ මව්ලවි තුමා ගව ඝාතනය නතර කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනාව පිළිබඳව තම සංවිධානය නිශ්චිතව සාකච්ඡා කර තීන්දු තීරණ ගෙන නොමැති බවත් කීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මුස්ලිම් ජනතාවට තම ආහාර අවශ්‍යතා සපුරා ගන්නට හැකි ක්‍රමවේදයක් සකසනු ඇතැයි විශ්වාස කරන බව මව්ලවිතුමා  කීය.

 

Exit mobile version