ගබ්සාවකට අකමැති වූ වෛද්‍යවරියකට විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද පහර දීලා…

ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි නිසා දරු ගැබ ගබ්සා කරන්නැයි බලපෑම් කළ විට එය ප්‍රතික්ෂේප කළ තරුණ වෛද්‍ය වරියකට රෝහල් වාට්ටුව තුළ පහර  දුන්  විශේෂඥ  වෛද්‍යවරයෙකු සම්බන්ධව කරාපිටිය රෝහලින් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධව එම වෛද්‍යවරිය   විසින් ගාල්ල ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.


මෙම තරුණ වෛද්‍යවරිය එක් දරු මවකි.  එම වෛද්‍යවරිය කරාපිටිය රෝහලේ මෙම විශේෂඥ වෛද්‍යවරයාගේ වාට්ටුවට පත් වී පැමිණි දිනම ඇයව ඇමතූ වෙද්‍යවරයා ඇයට කියා ඇත්තේ ගැබ් ගැනීමකට නොයන ලෙසත්, ප්‍රසූත නිවාඩු ලබා දිය නොහැකි බවත්, ගැබ් ගැනීම් වලක්වා ගැනීම සඳහා එල්.ආර්.ටී. සැත්කමක් කරගන්නා ලෙසත්ය.

වෛද්‍ය විද්‍යාලයේ සිටි අවධියේ සිට දාමරික ක්‍රියාවන් පිළිබඳ ඉතිහාසයක් ඇතැයි කියන මෙම විශේෂඥ වෛද්‍යවරයා පොලිසිය හා ප්‍රදේශයේ බලවතුන් සමග  පවත්වාගෙන යන ලඟ ඇසුර නිසා ඔහුගෙන් සිදුවන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධව සාධාරණයක් ඉටු වී නැති බවත්, රෝහල් කාර්ය මණ්ඩලය මේ පුද්ගලයාගේ හැසිරීමට එරෙහි වී ගැටලු ඇති කර නොගැනීමේ ප්‍රතිපත්තියක සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මේ තරුණ වෛද්‍යවරිය දෙවන වර ගැබ් ගත් බව සැලවූ  වහාම කුපිත වූ මෙම විශේෂඥ වෛද්‍යවරයා වාට්ටුව මැද අශික්ෂිත ලෙස ඇයට බැණ වැදී ඇයට ප්‍රසූත නිවාඩු ලබා  දිය නොහැකි බව කියා වහාම දරුගැබ ගබ්සා කරගන්නා ලෙස අණ කර තිබේ. එය ප්‍රතික්ෂේප කළ විට   වෛද්‍යවරයා විසින් ඇයට පිරිස මැද දී වේගවත් කම්මුල් පහරක් එල්ල කර ඇත. ඒ පහර කාගෙන වෛද්‍යවරිය උන් තැනින් දිවගොස් තිබේ.

මේ සම්බන්ධව වෛද්‍යවරිය විසින්  ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත. පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණි පොලිසිය මේ වෛද්‍යවරිය තනිවම කැඳවා ඇත්තේ ඇයට පහර දෙන විට ඊට එරෙහි නොවූ රෝහල් කාර්ය මණ්ඩලය  හා විශේෂඥ වෛද්‍ය වරයා ඉදිරියට බව රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධව මෙම වෛද්‍යවරිය  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පැමිණිලි කළ බවත් එම සංගමයේ  නිලධාරීන් පිරිසක් විශේෂ විමර්ශනයක් සඳහා කරාපිටිය රෝහලට ගිය අවස්ථාවේත් මෙම වෛද්‍යවරයා ප්‍රචණ්ඩව හැසිරුණු බවත් එම සංගමයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ පිළිබඳ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් සොනාල් ප්‍රනාන්දු පැවසුවේ මෙම වෛද්‍යවරයා සම්බන්ධව මෙසේ වාර්තා වන්නේ මුල්ම සිදුවීම නොවන බවත්,  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වරයාටත්, පොලිසියටත්, පොලිස්පතිවරයාටත් මේ සිද්ධිය සම්බන්ධව ලිඛිතව දැන්වූ  බවත්ය.

මෙවැනි වෛද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාත්මක නොකරන බලධාරීන්ට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා නොයන්නේ රටේ පවතින තත්වය පිළබඳ සලකා බලා බව කී ඔහු මේ වනවිට වින්දිත වෛද්‍යවරිය එම වාට්ටුවෙන් ඉවත් කරගැනීමට සංගමය ක්‍රියා කර ඇති බවත් කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර පහර කෑ වෛද්‍යවරියට විශේෂඥ වෛද්‍යවරයා සමග සමාදානයට පැමිණෙන ලෙස පොලිසිය පාර්ශවයෙන් යෝජනාවක් පැමිණ ඇතැයි වාර්තා වේ.

 

 

 

 

Exit mobile version