කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

 කීර්ති ප්‍රනාන්දු –

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක්  විසින්  කටුනායක ගුවන් තොටුපළෙන් නීතිවිරෝධී ලෙස පිට කිරීමට තැත් කළ රුපියල් කෝටි 19 ක් වටිනා ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් තොගයක් ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් ඊයේ (03) රාත්‍රියේ දී  අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමෙරිකානු ඩොලර් 75,000 ක්   යුරෝ 18,000 ක්,  දෙකට කපා ඇසුරුම් කළ රන්බිස්කට් සහ ස්වර්ණාභරණ සහිත කිලෝ ග්‍රෑම් අට හමාරක් බර රත්තරන් තොගයක,  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පුද්ගලයින් තිදෙනෙක්    තම ගමන් මලු තුළත්   ඔවුන් ඇඳ සිටි කළිසම් සහ කමිස සාක්කු වලත් , විශේෂයෙන් සකස් කළ ව්‍යාජ පතුල් තුළ මෙම භාණ්ඩ  සගවා ගෙන සිටි බව ගුවන් තොටුපළ රේගු නිලධාරීවරයෙකු පැවසීය .

අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනා  53 සහ 42 වයස් වල පසුවන්නන්ය. ශ්‍රී ලාංකිකයා 46 හැවිරිදි වියේ පසුවන්නෙකි.   ඉන්දීය ජාතිකයන් දෙදෙනා  රැකියාවට    දෙරටේ ගුවන් තොටුපළ ඔස්සේ රත්තරන් සහ විදේශ මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවට ගුවන් තොටුපළ රේගු නිලධාරීන් කරුණු අනාවරණය කර ගෙන තිබේ .


එසේම මෙසේ අත් අඩංගුවට ගත් 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයා නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් , ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නෙකු බව ද ගුවන් තොටුපළ රේගුව පවසයි .

ඉන්දියාව සහ ඩුබායි   රාජ්‍ය වලින්   තොග වශයෙන් මෙසේ  කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන එන ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් , ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයෙහි රැදී සිටින ව්‍යාපාරිකයන් සහ ජාවාරම්කරුවන් වෙත කුඩා ප්‍රමාණ වලින් යුතු කොටස් වලට වෙන් කර  ලබා දී , ඒවා ගුවන් තොටුපළෙන් පිට කිරීම මොවුන්ගේ ප්‍රයත්නය වී ඇති බව ගුවන් තොටුපළ රේගු නිලධාරීන් හඳුනා ගෙන ඇත .

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ යූ.ටී.බී.අලවතුගොඩ   විසින්  පවත්වා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‍මෙම ස්වර්ණාභරණ , රන් බිස්කට් සහ විදේශ මුදල් සියල්ල රාජසන්තක කර , මෙම පුද්ගලයන් තිදෙනාට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

Exit mobile version