කොතලාවලට හා නෙවිල් ප්‍රනාන්දුවට යන්න බැරිනම් සේවයෙන් පහ කරනවලු… පේරාදෙණිය හෙද හෙදියෝ වැඩ වරති…

කොතලාවල වෛද්‍ය පීඨයට අනුබද්ධ රෝහලට  සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලට හෙද හෙදියන් බලහත්කාරයෙන් යොමු කිරීමට එරෙහිව පේරාදෙණිය රෝහලේ සමස්ථ හෙද කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ (21) සිට අදාල රෝහල්වෙත යෑමට අකමැති හෙද හෙදියන් සේවය හැර ගියා සේ සලකන බවට ලඛිතව දැන්වීමට   පාලකයින් පියවර ගෙන ඇති බැවින් ඊට එරෙහිව මෙම වැඩවර්ජනය පවත්වන බව රජයේ හෙද  නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශඛාවේ  සභාපති අරුණ ශාන්ත පැවසීය.

මේ වනවිට පේරාදෙණිය රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකක පහක් සාර්ථක ලෙස පවත්වාගෙන යන අතර පැණිදෙණිය අතරමැදි ප්‍රතිකාර ඒකකයේ රෝගීන් 420කගේ ප්‍රතිකාර කටයුතු ද සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.


ඊට අමතරව රෝහලේ සෙසු සෑම වාට්ටුවකම ගර්භනී හා ළමා වාට්ටු ඇතුළු ඒ ඒ රෝග සඳහා ශල්‍යකර්ම හදිසි ප්‍රතිකාර, ඇතුළු සියලුම ප්‍රතිකාර ක්‍රමවත්ව පවත්වාගෙන යනු ලබන බවත්, එසේ පැවතියදී පාලකයින් මෙවැනි  අත්තනෝමතික තීරණ ගන්නේ තම තමන්ගේ පුටු රැකගැනීමට බවත්  සභාපතිවරයා කීවේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැමැත්ත අකමැත්ත නොවිමසා හෙද හෙදියන් ඉහත කී රෝහල් දෙක වෙත බලහත්කාරයෙන් යොමුකිරීමට තීරණය කිරීම හා එසේ නොහැකි අය සේවයෙන් පහ කරන බවට ලිඛිතව තර්ජනය කිරීම මොනම සදාචාරයකටවත් එකඟ නැති බවත්, මේ සඳහා ස්ථිර විසඳුමක් ලබා නුදුනහොත් දිවයිනේ සියලුම රෝහල් ද එක් කරගනිමින් වැඩ වර්ජනයකට යෑමට කටයුතු කරන බවත් සභාපතිවරයා කිය.

Exit mobile version