කෘතහස්ත පුවත් පත් කලාවේදි ක්‍රිෂ්ණ විජේබණ්ඩාර දිවියට සමුදෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි අද අභාවප්‍රාප්ත විය.

මිය යන විට 57 වැනි වියේ පසු වූ විජේබණ්ඩාර මාසයකට ආසන්න කාලයක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

හිසෙහි ඇති වූ රුධිර කැටියක් හේතුවෙන් රෝහල්ගත කෙරුණු ක්‍රිෂ්ණ ශල්‍යකර්මකයට පසුව සුවය ලබමන් සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් මෙසේ මිය ගොසේ ඇත.

ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස තම පුවත් කලාවේදී ජීවිතය ඇරඹූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ලංකාදීප කර්තෘ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ අතර එහි ජනප්‍රිය සහ දක්ෂ විශේෂාංග ලේඛකයකු ලෙස ක්‍රියා කළේය.

එයින් පසුව ලක්බිම පුවත්පතට සම්බන්ධ වූ ක්‍රිෂ්ණ විජේබණ්ඩාර තම වෘත්තිය ජීවිතයේ වැඩි කාලයක් එහි විශේෂාංග කර්තෘවරයකු ප්‍රවෘත්ති කර්තෘවරයකු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයකු ලෙස කටයුතු කළ අතර පරිසරය පිළිබඳව සහ කෘෂිකර්මාන්තය පිළිබඳව විශේෂාංග ලේඛනයෙහි විශේෂඥතා සහිත ජනප්‍රිය ලේඛකයකු වූයේය.

ක්‍රිෂ්ණ කෘෂිකර්මය සහ පරිසරය පිළබඳව ග්‍රන්ථ ගණනාවක් රචනා කළ ලේඛකයෙකි. ක්‍රිෂ්ණ විජේබණ්ඩාරයන් වලස්පති නමින් ජනප්‍රිය පාරිසරික බ්ලොග් අඩවියේ කතුවරයා විය.

අරුණ පුවත්පතේද ටික කලක් කටයුතු කළ හෙතෙම පසුව තම වෘත්තීය ජීවිතයට සමු දුන්නේය.

ක්‍රිෂ්ණ විජේබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දිමට නියමිතය.

Exit mobile version