ක්‍රීඩක තුන්කට්ටුව බින්ඳේ කෝටි 7ක් වැයකර හැදූ ජෛව ආරක්ෂක බුබුලක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා කියයි

arjuna de silva

ජෛව ආරක්ෂණ බුබුල යටතේ ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟාවලියක් සඳහා පිටත් කර යැවීමට අති විශාල මුදලක් වැය වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් එංගලන්ත තරගාවලිය සඳහා යැවීමට පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් කෝටි 07ක් වැය කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරන කමිටුවේ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙවීමේ ජෛව ආරක්ෂක බුබුල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කර ඇති මුදල රුපියල් මිලියන 69කි.

මෙවැනි ජෛව ආරක්ෂක බුබුලක් නිර්මාණය කර ඇත්තේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳ පමණක් නොව ඒ ඒ රටවල ජනතාවගේ ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන බවත් ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ ක්‍රීඩකයන් තිදෙනා විසින් එංගලන්තයේ දී ජෛව ආරක්ෂණ බුබුල බිඳීම බරපතළ විනය කඩ කිරීමක් බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සඳහන් කළේය.


ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගත යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ජෛව ආරක්ෂණ බුබුල බිඳ හෙළූ ක්‍රීඩකයා යම් ස්ථානයකට ඇතුළු වූයේ නම්, ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් ද අනතුරේ හෙලීමක් වන අතර මෙය රටවල් අතර ප්‍රශ්නයක් ඇති වන තරමට මේ බරපතළ තත්ත්වයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එංගලන්තයේ රතු ලැයිස්තුගතව මෙරටින් කිසිදු පුද්ගලයෙකු එහි ගෙන්වා නොගන්නා තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයෙන් මෙම ජෛව ආරක්ෂණ බුබුල ඔස්සේ මෙරට ක්‍රීඩකයන් ගෙන්වාගැනීමට ඔවුන් කැමැත්ත පළ කර තිබූ අතර එය බිද හෙලීම රටවල් අතර විශ්වාසය ඉතාම බරපතළ ලෙස කඩ කිරීමක් බවද ඔහු අවධාරණය කළේය.

එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර ජෛව බුබුළ සීමා හා විනය නීති උල්ලංගනය කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල යන අයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණි පසුව දින 14ක් සඳහා නිරෝධායනයට යොමු කර තිබේ.

Exit mobile version