ශ්‍රියානි විජේසිංහ –
කරාපිටිය රෝහලේ පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි මහරගම අපේක්ෂා රෝහල වෙත ස්ථානමාරුකර යැවීමට කරාපිටිය රෝහලේ අධ්යක්ෂ එස්.යූ.එම්. රංග නිකුත් කළ ලිපිය විශේෂඥ වෛද්‍යවරයා භාර නොගෙන ප්‍රතික්ෂේප කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයා නීතිමය ක්‍රියාමාර්ගයන් ගන්නා බව දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියේය. සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි විනය ක්‍රියාමාර්ගයන් යටතේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වෛද්‍ය සේවා කමිටුවේ ආවරණ අනුමැතිය යටතේ මෙම ස්ථාන මාර්වීම පිළිබඳව නියෝග ලබා දී තිබේ.
පසුගිය සිකුරාදා (01) පිළිකා රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ශල්‍යාගාරයක් තුළදී පිළිකා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්.ඩී මහලියනට බැන වැදී තර්ජනය කළ බවට වාර්තා විය. ඊට පසුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාමරයේදී කරාපිටිය පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයමිණි හොරදුගොඩ ට දැඩි සේ තර්ජනය කර ඇති බවත් එම කාමරය අසළදී ළමා වකුගඩු විශේෂඥ වෛද්‍යවරියක වන හර්ෂණී ධර්මවර්ධනට පරුෂ වචනයෙන් බැන වැදී පහර දීමටද තැත් කළ බවටත් චෝදනා එල්ල වී තිබේ.
ඔහුගේ හැසිරීමට විරුද්ධව කරාපිටිය රෝහලේ වෛද්‍ය කාර්යමණ්ඩලය පසුගිය සෙනසුරාදා (02) සංකේත වර්ජනයක නිරත වූ අතර අද එය පූර්ණ වැඩ වර්ජනයක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබිණි. විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා සම්බන්ධව වෛද්‍ය කාර්මණ්ඩලය සහ සුලු සේවකයින්ට එරෙහිව ප්රචන්ඩ හැසිරීම් චෝදනා එල්ල වී තිබිණි.
කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා රෝගීන් විෂයෙහි ඉතාම වගකීම් සහිත සහ මානුෂික මෙහෙවරක නිරත වෛද්‍යවරයෙක් බව ද වාර්තා වේ. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරයා අතර නිරන්තර මතවාදී ගැටුමක් පවතින බව ද රෝහල් ආරංචි මාර්ග කියයි.







