රට ඔක්සිජන් රහිතව සිදුවන කොවිඩ් මරණය අභියස… ආර්ථිකය දියුණු කරන්න මිනිසුන් ජීවත් විය යුතුයි… විශේෂඥ වෛද්‍යවරු කියති…..

ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යෑමට නියමිතයි...

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීමත් සමග ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව තවත් දින කිහිපයකින් ඉක්මවා යනු ඇති බවත් මෙවැනි භයනාක ත්ත්වයක් හමුවේ රටේ කොවිඩ් සම්බන්ධ නීති රීති ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මේ වනවිටත් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව දරාගත නොහැකි මට්ටමට පැමිණ ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන් එම ධාරිතාව තවත් දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇති බවට අනතුරු අඟවයි.

මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිතුක් කළ ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එම නිවේදනය මඟින් මෙසේද සඳහන් කරයි.


“ඔක්සිජන් ඉල්ලුම වැඩිවීමත් සමඟ එම පහසුකම් සැපයුම දින කිහිපයක් තුළ ඉක්මවා යනු ඇත. ඒ නිසා ඔක්සිජන් නොමැතිකම හෝ රෝගියාට අවශ්‍ය මොහොතේ රෝගියාගේ ඇඳ අසළට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය පහසුකම් සහ තාක්ෂණික යාන්ත්‍රණයක් නොමැති වීම මරණ වැඩි විය හැකිය.

ඔක්සිජන් පහසුකම් හිගය රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලිකව අංශයේද සමාන ලෙස අත් විඳින්නට සිදුවනු ඇති බව අපගේ වැටහීමයි.

මෙවැනි පසුබිමක් තුළ කොවිඩ් තහනම තවදුරටත් ලිහිල් කිරීම සම්බන්ධ ව අපගේ අදහස නම් එය ඇවිළෙන ගින්නට පිදුරු එක් කිරීමක් වැනිය.

මෙම ලිහිල් කිරීම් සමඟ මෙතෙක් කලක් යම් මගපෙන්වීමක් තුළ කොවිඩ් සම්බන්ධව විනයක් ඇතිව කටයුතු තළ ජනතාව යම් ආකාරයකට නිදහස් කරන ලද කුරුල්ලන් ආකාරයෙන් හැසිරෙන තත්ත්වයක් ඇතිවිය හැකිය.

වෛද්‍ය විද්‍යා වෘත්තිකයන් නියෝජනය කරන ආයතනයක් ලෙස අදාළ තීන්දු තීරණ ගන්නන්ට මේ බැරෑරුම් තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම මූලික වගකීමකි. අපගේ මතය අනුව, ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුතුව තිබුණේ යම් ජනගහණ ප්‍රතිශතයකට එන්නත් ලබා දීමෙන් සහ දෛනිකව වාර්තා වන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවේ තවදුරටත් අඩු වීමකුත් සමඟ බව යි. එනම් මෙතැන් සිට සති හතරක් හෝ අටක් වැනි කාලයක් තුළ ය.

ආර්ථික කාර්ය සාධන දර්ශක සම්බන්ධයෙන් සැලකීමේදී එම අගයයන් පහත වැටීම සමඟ රට යළි සුපුරුදු තත්ත්වයට පත් කිරීමේ පවතින හදිසිය ගැන අපටද හොඳ අවබෝධයක් ඇත. කෙසේ වෙතත් නොඉවසිලිමත්ව හදිසියේ රට විවෘත කිරීමට ගනු ලබන තීරණ හේතුවෙන් කොවිඩ් 19 ආශ්‍රිත මරණ හා රෝගාබාධ ඉහළ යා හැකි වන අතර අප බලාපොරොත්තු ආර්ථික වර්ධනයක් ඒ නිසා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.

වෛද්‍ය විශේෂඥයින් වශයෙන් අපි තරයේ විශ්වාස කරන්නේ ආර්ථිකය දියුණු කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයින් සහ සෙසු අය මුලින්ම ජීවතුන් අතර සිටිය යුතු බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ අප රට ආරක්‍ෂිත ස්ථානයක් වන තුරු මිස සංචාරකයින් අපේ රටට නොපැමිණෙනු ඇත.

එසේම රජයේ උපදේශකයන් පෙනී සිටින සහ ක්‍රියා කරන “වෘත්තිකයින්“ අදාළ තීරණ ගන්නන් දැනුවත් කිරීමට ධෛර්යය නොමැතිකම සහ ඒ වෙනුවෙන් පෙනී නොසිට නිහඬව සිටීම ගැන අපි කලකිරීමට හා කණගාටුවට පත් වන්නෙමු.

විශේෂයෙන් මෙම මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය සමඟ සංඛ්‍යා ඉහළ යාමේ තත්ත්වයත් සමඟ කොවිඩ් වසංගතය සම්බන්ධ දැඩි සීමා ක්‍රියාත්මක කිරීම අත්‍යවශය බව අපි අවධාරණය කරමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපගේ වැටහීම වන්නේ ජීවන මාර්ගය රැක ගැනීමට මත්තෙන් ජීවිත ආරක්ෂා කර ගත යුතු බවයි.

Exit mobile version