එස්.එස්.පී තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවතට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න ඉවත්කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර කැළඹිමත් හටගෙන තිබේ.

ඩබ්ලිව්. තිලකරත්න  වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ  මුලින්ම අගමැතිවරයා ලෙස පත්වූ දින සිට ඔහු ජනාධිපතිධුරයෙන් ඉවත්ව යන තුරුම ඔහුගේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටියෙකි. මහින්ද රාජපක්ෂ  අගමැතිවරයා වූ මුල් අවස්ථාවේදී අගමැති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා වූයේ ඔහුය. මහින්ද රාජපක්ෂ  ජනාධිපති වූ මුල් අවස්ථාවේද ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතවිය. පසුව ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස් වීම් ලැබීමේන් අනතුරුව ජනාධිපති බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස සේවයේ නිරතව සිටි අතර පසුව ජනාධිපති ආරක්ෂක ඒකකයේ අධ්‍යක්ෂකධුරයත් දැරුවේය.

යහපාලන ආණ්ඩුව පෙරලී ගෝඨාභය රාජපක්ෂ  නැවත ජනාධිපතිධුරයට පත්වීමත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඉවත් කිරීමෙන් පසු ඒ තැනට පත්කරනු ලැබුවේ ඩබ්ලිව්. තිලකරත්නය.


ඔහු  මෑතක සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නීත්‍යානුකූල නොවන කිසිවක් නොකරන ලෙසය. ඊට මුල්වී ඇත්තේ ඇතැම් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට මූලික මිනිස් අයිතිවාසිකම් නඩු ගොන්නක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැටී ඇති බැවිනි.

ඒ සම්බන්ධයෙන් බලධාරීන්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ඩබ්ලියු. තිලකරත්න  සමග උරණ වී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරුකර යැවීමට තීරණය කර තිබේ. ඔහුව මාරුකිරීමට සැළසුම්කර තිබී ඇත්තේ පොලිස් අශ්වාරෝහක අංශයටය. ඒ ගැන කල්තියාම කණ වැකුණු ඩබ්ලියු. තිලකරත්න පසුගිය 20 වෙනිදා උදෑසන අගමැති මහින්ද රාජපක්ෂ හමුවී පවතින තත්වය ගැන දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. ඒ අනුව අශ්වාරෝහක කොට්ඨාසයට ලබාදීමට තිබුණු ස්ථාන මාරුව ඇමති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂකධුරය දක්වා වෙනස් වී තිබෙන බව සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඩබ්ලියු. තිලකරත්නගේ ස්ථාන මාරු කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්ත.මේන්තුවේ බහුතරයක් නිලධාරීන් සිටින්නේ එතරම් පැහැදීමකින් නොවේ. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක ලෙස පත්කිරීමට සූදානම් වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ප්‍රසන්ත අල්විස්ය. ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අම්පාවිල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටියදී පිටස්තරින් නිලධාරියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීමට සූදානම් වීම ගැනද නිලධාරීන් තුළ ඇතිව තිබෙන්නේ කල කිරීමකි.

Exit mobile version