එක්ස්ප්‍රස් පර්ල් වන්දි ලබාගැනීමේ අරමුණින් ගිනිගැනීමට දුන්නාදැයි සැකයක්!

xpress pearl

ගිනිබත් වී මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා නැවේ ඇතිව තිබෙන ගින්න පිළිබඳව කොළඹ වරායේ හාබර් මාස්ටරවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට දැනුම් දී තිබුණත් ඔවුන් ඒ සම්බන්ධයෙන් වහාම නිසි පියවරක් ක්‍රියාත්මක නොකරන ලද්දේ වන්දි ලබා ගැනීමේ අරමුණෙන් ගින්න පැතිරීමට ඉඩ ඇරීමට ද යන්න සැකයක් මතුවන බව, මේ පිළිබද විමර්ශනය, කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (15) ඉදිරිපත් වූ අවස්ථාවේ නැවේ කපිතාන්වරයා වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු එහිදී පෙන්වා දුන්නේ නැව නැංගුරම් ලෑමෙන් පසු මෙම ගින්න පිළිබඳව හාබර් මාස්ටර් සහ කාර්ය මණ්ඩලය වෙත වරින් වර දැන්වූ බවයි.

නමුත් එම ගින්න හටගත් අවස්ථාවේ (20 වැනිදා) හාබර් මාස්ටරවරයා වෙත මේ බව දැන්වූ විට ඊට පැය හතරකට පමණ පසු සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නැව නිරීක්ෂණය කිරීමට ගිනි ආරක්ෂක නිලධාරියෙකු සමග පැමිණ තිබේ.


ඔවුන් කිසිදු ගිනි ආරක්ෂණ උපකරණයක් රැගෙන ආවේ නැතැයි ද, කිසිදු පියවරක් නොගෙන ඔවුන් ආපසු ගිය බවද කපිතාන්වරයා සදහන් කරන බව ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රකාශ කර තිබේ.

නෞකාවේ කපිතාන්වරයා හාබර් මාස්ටර්වරයාත් අතර සිදු වූ සංවාද සියල්ල හාබර් මාස්ටර් කාර්යාලයේ සටහන්ව තිබේ.

කපිතාන්වරයාගේ ප්‍රකාශය සත්‍ය ද අසත්‍යද යන්න පිළිබඳ එමගින් තහවුරු කරගත හැකි වනු ඇති බව ද මෙහි දී අවධාරණය කෙරිණ.

කෙසේ වෙතත් මේ වන තෙක් හාබර් මාස්ටර් කාර්යාලයේ දත්ත රෙකෝඩරය පරික්ෂා කර නොමැති බවද අධිකරණයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව අද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ මෙම දත්ත රෙකෝඩරය ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදුකර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසයි.

නීතිඥ ජයමාන්න මහතා අධිකරණයේදී තවදුරටත් පෙන්වා දුන්නේ විසි වැනි දා අලුයම වන විට පැමිණි මෙම නැවේ ගින්න පිළිබඳ එදින පළමුවෙන් දැන්වුවද එදින කිසිදු පියවරක් නොගෙන පසුදින ඊට අදාළ ක්‍රියාමාර්ග ගත් බවයි.

නමුත් කපිතාන්වරයා දැන් වූ අවස්ථාවේ නැවේ ගිනි නිවීමට ප්‍රමාණවත් පියවර නොගත් බැවින් ඊට අවශ්‍ය පහසුකම් නොමැති නම් ගින්න පැතිරීම ට පෙර මෙම සීමාවෙන් ඈතට නැව ඇදගෙන යාමට හැකියාව තිබූ බව ද එහිදී අනාවරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමගින් මෙය ගිනි ගැනීමට ඉඩ හැරියේ ද යන්න බරපතළ සැකයක් මතුවන බව ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

Exit mobile version