ඉන්දියාව සමග සෑම ක්ෂේත්‍රයකම සබඳතා ප්‍රවර්ධනය කිරීමට සූදානම්… ජනපති ගෝලීය දකුණේ හඬ රාජ්‍ය නායකයින් අමතමින් කියයි!

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ  අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කීවේය.

ජනාධිපතිවරයා   මේ බව සඳහන් කර සිටියේ “ගෝලීය දකුණේ හඬ” සමුළුවේ රාජ්‍ය නායක සැසිය පසුගිය 17 වනදා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමිනි.

දෙවැනි වරට පැවැත්වූ මෙම සමුළුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේදි ආරම්භ වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය නායකයින් රැසක් ඊට එක්ව සිටියහ.

සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් කළ ආරාධනයට සිය ස්තූතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සමුළුව සංවිධානය කරමින් ඉන්දියාව සිදු කරන කාර්යභාරය ද අගය කළේය.


පළමු වරට පැවැත්වූ ගෝලීය දකුණේ හඬ සමුළුවේ වැදගත්කම පිළිබිඹු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නායකත්වය සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ප්‍රමුඛතා කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු කිරීම සඳහා එමඟින් ඇති වූ ධනාත්මක බලපෑම අගය කළේය.

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ පැවති G20 සමුළුවේ සාර්ථකත්වය සිහිපත් කළ  ජනාධිපතිවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට අදාළ ප්‍රධාන ප්‍රමුඛතා සහ විවිධ ගැටළු හඳුනාගැනීමට එමගින් හැකි වූ බව ද සඳහන් කළේය.

පසුගිය වසරේ පැවති පළමු සමුළුවේදී, ආර්ථික ගැටළු, එනම් ණය පියවීමේ දුෂ්කරතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළ සඳහා පවතින සීමිත ප්‍රවේශය වැනි ගෝලීය දකුණ විසින් මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳව තමා දැක්වූ අදහස් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ G20 රටවල් අතර පාලමක් ලෙස ඉන්දියාව ක්‍රියාකිරීම සහ බහුපාර්ශ්වික ආයතනවලින් හා සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවලින් මේ සඳහා බාහිර ආධාර අවශ්‍ය  බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබිණි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ප්‍රගතිය පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය  ඉදිරිපත් කර ඇති බව   පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලැබීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය පිළිබඳ නිල ණය හිමියන්ගේ කමිටුව විසින් අත් කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී ණයගැතිභාවය පිළිබඳ ගැටලුවේ සංකීර්ණත්වය වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපතිවරයා, මේ සඳහා තිරසාර විසඳුම් සෙවීම වෙනුවෙන් ණයහිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන අතර සහයෝගීතාවක් ඇති කර ගත යුතු බව ද සඳහන් කළේය.

අනාගතය දෙස බලමින් දිගුකාලීන වර්ධනයක් සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සහ සම්බන්ධතා වර්ධනය කර ගැනීම වැදගත් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

තමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ නිල සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්ව එළිදක්වන ලද හවුල්කාරීත්ව දැක්ම තුළ  අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

ඩිජිටල්කරණයේ දී අද ඉන්දියාව ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බවත්, එම ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු බවටත් ජනාධිපතිවරයා මෙහිදී යෝජනා කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආර්ථික වර්ධනයේ දී මෙන්ම ඵලදායී රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඩිජිටල්කරණයේ දියුණුව අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Exit mobile version