ඇමති බැන්නත් ඇත්ත එකමයි… සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයි… ජාතික රෝහලත් අර්බුදයක් අභියස!

තුට්ටු දෙකේ දේශපාලකයෙක් ලෙස කල්පනා නොකර වෘත්තිකයෙක් ලෙස හිතන්නැයි වෘත්තිකයෝ චන්න ඇමතිට කියති....

වෙනත් දේශපාලන අරමුණු සහිතව රජය අපහසුතාවයට පත් කිරීම සඳහා ඖෂධ හිඟයක් මවා පෑ බව කියමින් පේරාදෙණිය ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට රාජ්‍ය ඇමති චන්න ජයසුමන බැණ වැදුනත්  ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන් රජයේ රෝහල් බොහෝමයක සැත්කම්  කරගත නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මේ තත්වය තුළ  රෝහල් බොහෝමයක සැලසුම්කල සැත්කම් සීමා කිරීමට හෝ නතර කිරීමට  ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයි ද  ඔහුවු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහල තුළ දිනකට සැලසුම්කල සැත්කම් 500ට ආසන්න සංඛ්‍යාවක් ද කරාපිටිය රෝහලේ 50ට අධික සංඛ්‍යාවක්ද සිදුකරන නමුත් මේ වන විට  කරාපිටිය රෝහල තුළ එම සැත්කම්  ප්‍රමාණයන් සීමා කිරිමට සිදු වී ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


තවමත් මේ තත්වය කොළඹ ජාතික රෝහලට බලපා නැතත් ඉදිරි දින කීපය තුළ ජාතික රෝහලටත් මෙම ප්‍රායෝගික අර්බුදයට මුහුණ දීමට සිදුවන බවත්  මේ ප්‍රශ්නයේ දී දේශපාලනිකව තමන්ට වන අවාසිය සම්බන්ධව කල්පනා නොකර  මහාචාර්යවරයෙක්, වෘත්තිකයෙක්, විද්වතෙක් ලෙස ඇමතිවරයා හැසරිය යුතු බවත් මේ සම්බන්ධව අදහස් පල කරන ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයෝ පවසති.

සැලසුම්කල සැත්කම් සීමා කළද හදිසි සැත්කම් ඒ අයුරින්ම කරගෙන යාමේ කිසිදු වෙනසක් මේ වන විටත් නොමැති බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර  කොළඹ ජාතික රෝහලේ රසායනාගාර තුළ දෛනිකව  සිදුවන සාමාන්‍ය  පරීක්ෂණ සීමා කරන ලෙස කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දිනවල පැන නැගී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්  රෝහල්වල රසායනාගාර පරීක්ෂණයන් සිදුකිරිම සඳහා රසායනික ප්‍රතික්‍රීයකවල හිඟයක්, පර්යේෂණ කට්ටලව හිඟයක් ඇති වී තිබෙන බැවින් අත්‍යාවශ්‍ය පරීක්ෂණ පමණක් සිදුකරන ලෙස ඇය විසින් දන්වා ඇත.

Exit mobile version