ආයුධ ගත් රගර් ක්‍රීඩකයා සහ අවසන් නඩු තීන්දුව දෙන පොලිසිය !

පාදුක්ක මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රාජපක්ෂ පතිරගේ දිලන්ත ලක්මාල් රාජපක්ෂ නැමැති 33 හැවිරිදි ගුවන් හමුදා කෝප්‍රල්වරයෙක්  පොලිස් වෙඩි පහරකින් අද (08) උදෑසන ඝාතනය වුනේය.   දිලන්ත ලක්මාල්   සේවය කරමින් සිටියේ රත්මලාන කඳවුරට අනුයුක්තවය.  ඔහු ගේ ඝාතනය එක්වරම රට කම්පනය කළේ ඔහු ශ්‍රි ලංකා ගුවන් හමුදා රගර් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වීමය.

මෙම තරුණ ක්‍රීඩකයා පාතාලයේ කුලී ඝාතකයෙක් ලෙස ක්‍රියා කර ඇති ආකාරය මේ ඝාතනයත් සමග පොලිසිය හෙළිදරව් කරන්නේය.

පොලිසිය කියන කතාව මෙසේය.

හොරණ මාලොස්ඇළ ප්‍රදේශයේදී ඊයේ (07) පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය. ඝාතකයින් මෙම අපරාධය සිදු කර තිබුණේ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකිනි.  වෙඩිතැබීම සිදු කළේ  මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසකි.


වෙඩිතැබීමෙන් පසුව මෝටර් රථය පළාගොස් තිබුණේ පාදුක්ක දෙසට බව CCTV දර්ශන අනුව පොලීසිය අනාවරණ කරගත්තේය.

වෙඩිතැබීමට සම්බන්ධ බව කියන සැකකරුවෙක් සම්බන්ධයෙන් තොරතුරක් පොලීසියට ලැබී තිබුණේ මේ අතරවාරයේදී ය.  තොරතුරට අනුව එම පුද්ගලයා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්තව සක්‍රීය සේවයේ නිරතව සිටි කෝප්‍රල් වරයෙකි.

ඒ අනුව ක්‍රියාත්මක වූ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අද අලුයම 1ට පමණ පාදුක්ක, මිරියගල්ල පන්සල පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් එහි පදිංචි පුද්ගලයෙක් ගැන තොරතුරු විමසා තිබුණි.

එහිදී එම පුද්ගලයා නිවසේ නොසිටීම නිසා විමර්ශන නිලධාරීන් නිවසට ආසන්න අංගමුව මංසන්ධියට පැමිණ එහි තාවකාලික මාර්ග බාධකයක් ස්ථාපිත කර තිබිණි.

මේ අතර අලුයම 4.15ට පමණ එම මාර්ගයේ පැමිණි සැකකටයුතු යතුරුපැදියකට නවත්වන ලෙසට පොලීසිය සංඥා කළත් පැදිකරු එය නොනවත්වා ඉදිරියට ධාවනය කළ බව පොලිසිය කියන්නේය.

ඒ සමග පැදිකරු, යතුරුපැදිය අතහැර ඉදිරියට දිවයමින් පොලිස් නිලධාරීන් දෙසට බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර එල්ල කර කළ බවද පොලිසිය කියන්නේය.

 

එම අවස්ථාවේදී ආත්මාරක්ෂාව සඳහා පොලිසියද එම පුද්ගලයා දෙසට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවත් එහිදී එම පුද්ගලයා බරපතල තුවාල ලබා සිටිය දී පාදුක්ක රෝහලට ඇතුළත් කළ බවත් රෝහලට ඇතුළත් කළ පසු ඔහු මිය ගිය බවත් පොලිසිය කීවේය.

පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ ඊයේ දහවල් හොරණ, මොරගහහේන ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙසට මොහු කටයුතු කර ඇති බවයි

එමෙන්ම දැනට විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජයකොඩිගේ තනුජ සම්පත් නොහොත් හෝමාගම “හඳයා” නමැත්තාගේ කුලී ඝාතකයා මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා බවය.

“ විමර්ශන නිලධාරින් මට වාර්තා කළේ මෙම පුද්ගලයා තමයි මෙම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයා කියන කාරණය. ඔහු මේ ඝාතනය සඳහා කුලී මුදලකට යොදා ගන්න ඇති කියලා අප විශ්වාස කරනවා පිටරට ඉන්න පුද්ගලයෙක් විසින්. මේ අවිවාහක පුද්ගලයා   මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වී සිටි බවට තොරතුරු ලැබී තියනවා.

ඔහු නිවාඩුවට ඇවිත් තියෙන්නේ . අද දින ඔහුගේ නිවාඩුව අවසන්. නිවාඩු ඉවරවෙලා යන්න කලින් තමයි ඔහු මේ අපරාධය කරලා තියෙන්නේ. පොලිසිය විමර්ශනය කරනවා තවදුරටත් ඔහුගේ අපරාධ සම්බන්ධය ගැන.  ඒ වගේම තව කීදෙනෙක් මේ අපරාධයට සම්බන්ධද කියන කාරණාව ගැන.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති  නීතිඥ නිහාල් තල්දූව කීවේය.

කෙසේ වෙතත් හැම පොලිස් කතාවකම මෙන්  මේ පොලිස් කතාව තුළත් යම් නොගැලපීම් සහ ප්‍රශ්න සහගත අභව්‍ය තැන්ද ඇත්තේය. සන්නද්ධ පොලිස් කණ්ඩායමක අණ නොතකා යතුරුපැදියකින් පලා ගොස් යතුරුපැදිය අත්හැර නවීන අවි දරන පොලිසියට ගල් කටස් තුවක්කුවකින් වෙඩි තබමින් ඉදිරියට පැමිණීම ඉන් කැපී පෙනෙන එකකි.

තොරතුරක් ලැබුණු සැනින් නඩු අසා අපරාධකරු නිගමනය කර වෙඩි තබා ඝාතනය කිරීමේ පොලිස් උසාවියේ මේ ස්වරූපය නම් අපව තිගස්සන්නේය. මක් නිසාද යත්    අපරාධ   තුරන් කිරීම සඳහා දඬුවම් ලබා දීම සම්බන්ධ බලය ඇත්තේ අධිකරණයටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් හෙයකින් ඒ අධිකරණ බලය පොලිසියට හුවමාරු වීම සාධාරණීකරණය කරන අයෙක් වෙත්නම් තමන්ගේ  ප්‍රවේශයේ බරතපලකම ඔවුන්ට තේරෙන්නේ කාගේ හෝ කුපාඩි කොන්ත්‍රාත්තුවක් සඳහා ආයුධ සන්නද්ධව පොලිසිය  ඔවුන්ගේ එළිපත්තට පැමිණෙන දාටය.

Exit mobile version