ඇසළ පෙරහර මංගල්‍ය අරඹන කප් සිටුවීම හෙට… මහ වැසි මැද අලුත් නුවර සිට කප වඩමවයි..

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් හෙට  (09) ආරම්භ කෙරෙන බව  සි  ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිංලග දෑල මහතා පවසයි. කප් සිටුවීමේ  මංගල්‍යය සඳහා අවශ්‍යය කප අලුත්නුවර දේවාලයේ සිට මහවැසි මධ්‍යයේ අද (08) පෙරවරුවේ පෙරහරින් මහනුවරට වැඩමකරවනු ලැබීය.

නාථ, විෂ්ණු,කතරගම හා පත්තිනි යන සතර මහ දේවාළයන්හි  හෙට (09) අලුයම 1.09 ට යෙදෙන සුබ නැකතට අනුව කප් සිටුවීමෙන් පසු 12 දා තෙක් දේවාළ අභ්‍යන්තර පෙරහර පහක් පැවැත්වීමට නියමිතය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර 13 දින වීදී සංචාරය කරන බවත් පුරා දින පහක් කුඹල් පෙරහර පැවැත්වීමෙන් පසු රන්දෝලි පෙරහර 18 දින වීදි ආරම්භ කරන බවත් දෑල මහතා ප්‍රකාශ කළේය.


අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන 22 දින පැවැත්වීමෙන් අනතුරුව පසුදින දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වීමට නියමිතය.

මෙවර මහනුවර ඇසළ පෙරහර සෞඛ්‍ය නිර්දේශ වලට යටත් ජනතාවට නැරඹීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව අවධානය යොමුව තිබෙන බවත් ඒ සම්බන්ධ අවසන් තීන්දුවක් මෙතෙක් ගෙන නොමැති බවත් දියවඩන නිළමේවරයා කීය.

මෙවර මහනුවර ඇසළ පෙරහරට සහභාගි වීම සඳහා නඳුන්ගමුවේ රාජා හස්තියා මේවන විටත් මහනුවරට පැමිණීම සඳහා ගමන් ආරම්භ කර තිබෙන බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතිය භාර ප්‍රදීප් මියනපලාව මහතා කීය.

මෙවර මහනුවර ඇසළ පෙරහර වීදී සංචාරය කරන 13 දින සිට 23 දින දක්වා මහනුවර නගර සීමාවේ සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම මත්පැන් අළෙවි සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තුමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කප් වැඩමවීමේ උත්සවයේ අවස්ථා පහත දැක්වේ.

Exit mobile version