අවබෝධයෙන් දික්කසාදයට… බිල් ගේට්ස් යුවල වෙන් වේ….

චතුර රුවන් වීරක්කොඩි –

ලෝකයේ බිලියනපතියන් අතර සිව්වැන්නට සිටින්නේ  බිල් ගේට්ස් යුවළය. ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසන්නේය. 1994දී විවාපත් එම දෙපළ වසර 27කට පසු මෙවැනි තීරණයක් ගැනීම පිළිබඳව ලෝක ව්‍යාපාරික ප්‍රජාව දක්වන්නේ අතිශය උත්සුකකාරී ස්වභාවයකි.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් මේ වන විට වයස පිළිවෙලින් අවුරුදු 65ක් සහ 56 ක් වන අතර දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වේ. “After a great deal of thought and a lot of work on our relationship, we have made the decision to end our marriage” යනුවෙන් ට්වයිටර් සමාජ අඩවියේ ඔවුහු නිවේදනයක් කර තිබුණහ.

“බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම”

2000 වසරේදී ගේට්ස් යුවළ විසින්  ගොඩනැංවූ “බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම” විසින් මේ දක්වා ගෝලීය සෞඛ්‍ය නගා සිටුවීම, දරිද්‍රතාව මෙලොවින් තුරන් කිරීම සහ තවත් කාලීන අරමුණු උදෙසා වැය කර ඇති ධනස්කන්ධය ඇමෙරිකානු ඩොලර් බිලියන 53.8කි.


“අප දෙදෙනාගේ එකතුවීම නිසා ශක්තිමත් දරුවන් තිදෙනෙක් සහ බිඳහෙලිය නොහැකි පදනමක් බිහිකරන්නට හැකි වූනා. ඒ මගින්   දිළිඳු ප්‍රජාවගේ සෞඛ්‍ය නගා සිටුවීමට හැකිව තිබෙනවා. අපට විවාහක යුවළක් වශයෙන් තව දුරටත් ඉදිරියට යා නොහැකියි.  නමුත් පදනම වෙනුවෙන් අපි දෙදෙනා ඉදිරියේදිත් එක්ව වැඩ කරන්නට අපේක්ෂා කරනවා.”  ඔවුහු නිවේදනය කළහ.

නිවේදනයේ සදහන් පරිදි විවාහ බැඳීම පමණක් මෙසේ බිඳීයන අතර ඔවුන්ගේ ව්‍යාපාරික සම්බන්ධතාවලට කිසිඳු බලපෑමක් ඉන් ඇති නොවේ. නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම සතු වත්කම් බෙදීයාම මත ලොව බිලියනපතියන්ගේ ලැයිස්තුවෙහි වෙනසක් සිදුවීමට නියමිතව තිබේ.

ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස් සතු වත්කම් ප්‍රමාණය ඇ.ඩො. බිලියන 130කි.  ඔහු බිලියනපතියන්ගේ ලැයිස්තුවේ හතර වෙනි ස්ථානයේ පසුවේ. 1975 වසරේදී පෝල් ඇලන් සමඟ ආරම්භ කරන ලද මයික්‍රොසොෆ්ට් සමාගමේ අද වටිනාකම ඇමරිකන් ඩොලර් ට්‍රිලියනයද ඉක්මවා ගොස් ඇත.

විවාහ දිනය දා

ඇ.මරිකන් ඩොලර් බිලියනයක් උපයමින් 1987 දී ලොව ලාබාලම බිලියනපතියා ලෙස (වයස අවුරුදු 31) බ්ලූම්බර්ග් දර්ශකයට ඇතුළත් වූ බිල් ගේට්ස්ට මෙලින්ඩාව මුණගැසී ඇත්තේ ඊට වසර කිහිපයකට පෙර සමාගමේ කළමණාකාරවරියක් ලෙස සම්මුඛ සාකච්ඡාවට පැමිණි අවස්ථාවේදීය. වසර ගණනාවක් පැවති ප්‍රේම සම්බන්ධතාව 1994දී විවාහයකින් කූටප්‍රාප්ත වූයේය.   ඔවුන්ගේ මංගලෝත්සවය හවායි දූපතෙහි ලනායිහිදී   පැවැත්විණි.

1995දී ලොව ධනවත්ම මිනිසා බවට පත් වූ බිල් ගේට්ස් 2017දී ජෙෆ් බෙසෝස් විසින් එම ස්ථානයට පත්වන තෙක්ම වසර 20කට වැඩි කාලයක් ලොව අංක එකේ ධනවතා ලෙස වැජඹුණි. ඉන් පසු එලන් මස්ක්, මාක් සකර්බර්ග් වැනි බිලියනපතියන් ද ඔහුව අභිබවා ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බිල් ගේට්ස්ගේ වත්කම් අතර Berkshire, Waste Management, Caterpillar, Walmart, FedEx වැනි සමාගම්වල කොටස්, කැලිෆෝනියාවේ සුඛෝපභෝගි සුවිසල් මැදුර, වොෂින්ටන් වතුයාය, විශාල ගොවි ඉඩම් ප්‍රමාණයක්, පෞද්ගලික ගුවන්යානය හා ජෙට් යානය සහ අධි සුඛෝපභෝගි මෝටර්රථ එකතුවක්ද වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිම ගොවිබිම් ප්‍රමාණයක හිමිකරුවා වන්නේද බිල් ගේට්ස්ය.

Exit mobile version