අලි හොරකමක් අල්ලන්න රැක සිට වනජීවී නිලධාරීන්ට හමුදා මේජර් ජනරාල් මරණීය තර්ජන කර පහර දෙයි…

minneriya army

මින්නේරිය හබරණ ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව අලි පැටවු සොරකමක සැලසුමක් සම්බන්ධව ලැබුණු තොරතුරකට අනුව රැකවල් තරකරමින් රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට වනෝද්‍යානයේ සිට සැක කටයුතු ලෙස පිටවූ හමුදා මේජර් ජනරාල්වරයෙක් ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය පොලිසියට වනෝද්‍යාන භාරකරු විසින් පැමිණිල්ලක් කර තිබේ.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් අලි පැටියෙක් පැහැර ගැනීමට සූදානමක් ඇති බවත්, ලංකාවේ සුප්‍රකට අලි ජාවාරම් කරුවෙක් ඇතුළු කණ්ඩායමක් දින කීපයක් තිස්සේ හබරණ අවට හෝටල් කීපයක ලැගුම් ගනිමින් සැක කටයුතු ලෙස සැරිසරන බවත් කියැවෙන තොරතුරක් වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි.
ඒ අනුව වනජීවී නිලධාරීහු වනෝද්‍යානයම ආවරණය වන ආකාරයට සැලසුම් සහගතව මුරපොල සකස් කරමින් දිවා රාත්‍රී ආරක්ෂක රජකාරියක් දියත් කළහ.


මේ රජකාරිය දියත්ව ඇති අතරතුර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බටහිර මායිමේ හබරණ කිට්ටුවෙන්  කැබ් රථ දෙකක් අතුරු මාර්ගයක  පැමිණියේය.

වනජීවි නිලධාරීහු එය නැවැත්වීමට සන් කළ නමුත් වාහන දෙක අණ නොතකා ධාවනය විය. එතැනට ඉදිරියේ වනජීවී නිලධාරීන් විසින් යොදා තිබූ තවත් මුර කපොල්ලකින් වාහන දෙක අණ නොතකා ධාවනය කෙරිනි.
මෙසේ ජාතික වනෝද්‍යානය ආසන්නයෙන්  පිවිසී වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය වන කැබ් රථ දෙක පසුපස වනජීවී නිලධාරීන්ගේ වාහන දෙකක් ලුහු බැඳ ගියේය. අණ නොතකා යන වාහන දෙක හමුදා වාහන දෙක්ක බව පෙනුණි.

හමුදා වාහන දෙකක් බව දැනගත් වහාම වනජීවී නිලධාරීහු ඒ පිළිබඳව ගල්කුලම යුද හමුදා පොලිස් මුරපොලට දන්වා සියල්ල විස්තර කර තම අණ නොතකා එන මෙම වාහන දෙක නතර කර දෙන ලෙස ඉල්ලා තිබිණි. එහෙත් යුද හමුදා මුරපොලේ නිලධාරීන් පැවසුවේ මේ වාහන නැවැත්විය නොහැකි බවත් මේ වාහනයේ ගමන් කරන්නේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් බවත්ය.

එහෙත් වනජීවි නිලධාරීහු වාහන දෙක ලුහු බැඳ ගියහ. වාහන අනුරාධපුරයේ යුද හමුදා කඳවුරකට ඇතුළු විනි.
මෙහෙයුම අත්හල වනජීවී නිලධාරීහු ආපසු එන්නට හැරුණහ. ආපසු එන වනජීවී වාහන දෙක පසුපස හමුදා කඳවුරේ වාහන කිහිපයක් ලුහු බැඳ පැමිණෙමින් තිබිණි. ඒ බව නොදත් වනජීවී වාහන දෙක හබරණ පලුගස්වැව ආසන්නයේ දී ඉදිරියේ සිටි හමුදා කණ්ඩායමක් විසින් නතර කළේය.

ඒ සමගම පසුපසින් පැමිණි හමුදා වාහනවල පිරිස් වනජීවී නිලධාරීහු වට කළහ. මේ අතර සිටි එක් අයෙක් ඉදිරියට පැමිණ වනජීවි නිලධාරියෙකුගේ කණ හරහා වේගවත් පහරක් එල්ල කර කුණුහරපයෙන්ම කතාව පටන් ගත්තේය.
“ කණ පලනවා ප……ගෙ. මම තමයි මේජර් ජනරාල් මොහාන් රත්නායක අනුරාධපුර මෙහෙයුම් නිලධාරී. අපව නවත්වන් බෑ. උස්සනව තොපිව… “

කුණු තිත්ත කතා කියමින් නිලධාරීයාට පහරදුන් මේජර් ජනරාල්වරයා වටේ තරු සහිත නිලධාරී පන්තියක් ද විය. ඔවුනගේ අනින් වනජීවි නිලධාරීන්ගේ ජංගම දුරකථන පැහැර ගැනුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධව කළ දැනුවත්කිරීමකින් හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට පැමිණියේය.

ඔහු මේ හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසට කියා තිබුණේ මේ ආකාරයෙන් නොහැසිරෙන ලෙසත් මේ ජංගම දුරකථන යළි ලබා දෙන ලෙසත් මෙම නිලධාරීන් විසින් සිදුකර ඇත්තේ රාජකාරියක් බවත්ය.
යළිත් බැණ තර්ජනය කළ මේජර් ජනරාල්වරයා හමුදා කණ්ඩායම සමග පිටවී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාරකරු විසින් හබරණ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Exit mobile version