-
මාලිමා ආණ්ඩුව පතිවත සිඳගත්තා ද?. කන්ටේනර් හුටපටයේ ජනාධිපති විමර්ශන වාර්තාව මුජිබර් පාර්ලිමේන්තුව ඉදිරියේ තබයි…
සමාජය තුළ බරපතල ආන්දෝලනයක් උපදවන ලද බහාලුම් 323ක් ලෙස ප්‍රකාශිත නමුත් සැබෑ ලෙසම බහාලුම් 309ක ප්‍රමාණය නිදහස් කර ඇත්තේ සම්මත නෛතික ක්‍රියාවලිය මුලුමනින්ම උල්ලංඝණය කර බවත්, මේ ක්‍රියාවලිය සිදුකිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකළ මැදිහත්වීම අනීතික මෙන්ම ස්වකීය බලතලවලින් ඔබ්බට ගොස් කටයුතු කිරීමක් බවත් මෙම බහාලුම් නිදහස් කිරීම සඳහා විමර්ශනය සිදුකිරීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම බහාලුම් නිදහස් කිරීමට පත් කළ කමිටුව විසින් තීන්දු කර තිබෙන්නේ 2025/01/18 දින වුවද එම අධි අවදානම් බහාලුම්වලින් කොටසක් 2025/01/17 දින නිදහස් කර ඇති බවත් එම නිර්දේශය ලබා දුන් ආකාරය ගැන විශේෂ අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවත් එම කමිටු මගින් නිර්දේශ කර ඇත.
රජය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකර සඟවාගෙන තිබුනු බව පෙනෙන අදාල කමිටු වාර්තාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් අද පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව මේ තොරතුරු අනාවරණය වූයේය.
මන්ත්‍රීවරයා එහි පිටු අංක උපුටා දක්වමින් සිදුකළ ඇති දූෂණයේ ප්‍රමාණය පාර්ලිමේන්තුවට හෙළිදරවු කරනු ලැබුවේය.
“අවදානම් කළමනාකරණය යටතේ වරායේ නෛතික ක්‍රමවේදය තුළ රතු ලේබල් යටතේ සහ කහ ලේබල් යටතේ නම් කළ අධි අවදනාම් කන්ටේනර් 309ක් නිදහස් කරලා තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා විමර්ශන කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව ජනාධිපතිවරයා ලෙස එම කමිටුව විසින් ලබා දීලා දැනට සති දෙකක් වෙනවා. ආණ්ඩුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළෙත් නෑ. ඇහුවාම නොයෙක් දේවල් කිව්වා. වාර්තාව ගෙනත් ඉදිරිපත් කරනවා කියනවා. හැන්සාඩ් ගතකරලා සභාගත කරනවා කියනවා. ඒත් ඒ වාර්තා එළියට දාන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවෙන් කරන්න ඕන වැඩේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට මම කරනවා. අද එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරනවා.” මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා එසේ කියමින් අදාල වාර්තාව සභාගත කරමින් එම වාර්තාවේ අතිශය වැදගත් නිර්දේශ සහ අනාවරණ කීපයක් සභාවට හෙළි කරනු ලැබුවේය. මන්ත්‍රීවරයා පෙළ ගැස්වූ කරුණු මෙසේය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් බලය අවභාවිතා කරලා
වාර්තාවේ පිටු අංක 06හි දක්වා ඇති පරිදි රේගු දෙපාර්තමේන්තුවේ බහාලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය තුළ අවදානම් කළමනාකරණයේ දි රතු, කහ සහ කොල ලෙස බහාලුම් වර්ගීකරණය කරනු ලබයි. සම්මත නෛතික රාමුව තුළ රතු ලේබල්වලින් ඛේතගත බහාලුම් වර්ගය ස්කෑන් පරීක්ෂාවකට මෙන්ම භෞතික පරීක්ෂාවකට ලක් කළ යුතුය. කහ ලේබලයෙන් ඛේතගත කළ බහාලුම් ස්කෑන් පරීක්ෂාවක් සහ සාම්පල පරීක්ෂාවකට ලක් කළ යුතුය. කොළ ලේබලයෙන් වර්ග කළ බහාලුම් ලේඛණ පරීක්ෂාවෙන් පමණක් නිදහස් කළ හැකිය.
ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විමර්ශනය කරන්නේ මේ නෛතික පටිපාටිය උක්ත ආන්දෝලනාත්මක බහාලුම් විෂයෙහි ක්‍රියාත්මක වී තිබේ ද නැද්ද යන්නය.
එම විමර්ශන වාර්තාව මුලින්ම පෙන්වා දෙන්නේ මූලිකවම මෙම බාහාලුම් නිදහස් කිරීම නීති විරෝධී බවය. එම වාර්තාවේ පිටු අංක 7 හි දක්වා ඇත්තේ රේගු අඥා පනතේ දෙවැනි වගන්තිය අනුව, රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස හෝ ජාතික ආරක්ෂාවට අදාල කරුණක් ලෙස යන ව්‍යතිරේකවලට යටත් කර නැති අවස්ථාවක දී රතු ලේබලය යටතේ ඛේතනය කළ බහාලුම් භෞතික පරීක්ෂණයකින් තොරව නිදහස් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි සහගත තීන්දුවක් බවය.
වාර්තාවේ පිටු අංක 11 හි දක්වා ඇත්තේ මේ බහාලුම් සම්බන්ධව තින්දු ගැනීමේ දී රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම සපුරා නීති විරෝධී බවය. රේගු දෙපාර්තමේන්තු තුළ නීත්‍යානුකූල අනිවාර්ය ක්‍රියාවලියක් වන අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් තෝරා ගනු ලබන ඉහළ අවදානමක් සහිත එනම් රතු ලේබලය සහිත බහාලුම් භෞතකි පරීක්ෂාවකින් තොරව සහ එකී බහාලුම්වලින් කොටසක් ස්කෑන් පරීක්ෂාවකින් පමණක් නිදහස් කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට පනතින් ප්‍රකාශිත බලයක් හො ඇඟවෙන බලයක් නොමැති බව විමර්ශන කමිටුව අවධාරණය කර ඇත.
මෙම බහාලුම් නිදහස් කිරීමේ දි ඔහු රේගු ආඥා පනත යටතේ ලබා දී ඇති නීත්‍යානුකූළ අධිකාරියේ විෂය පථයෙන් ඔබ්බට ක්‍රියා කර ඇති බව නිරීක්ෂණය වන බව විමර්ශන කමිටුව පෙන්වා දෙයි.
නීති විරෝධී කමිටුව තමන් පනවාගත් අනුමැතියත් කඩලා
රතු පැහැයෙන් ඛේතනය කළ බහාලුම් නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවක් පත් කරන්නේ එවැනි බලයක් ඔහුට නොමැති අවස්ථාවක දී ය. ඔහු විසින් පත් කරන ලද කමිටුව රතු ලේබල් සහිත අධි අවදානම් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කර තිබේ.
කමිටුව කියන්නේ බහාලුම් තදබදය අවම කිරීම සඳහා සද් චේතනාවකින් යුතුව මෙම බහාලුම් නිදහස් කළ බව පැවසුවත් එය සිදුවී ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටි වලින් අපගමනයක් වෙමින් බවය.
අනතුරුව කමිටුව පෙන්වා දෙන්නේ මේ නීති විරෝධී කමිටුව පවා ක්‍රියාත්මක වී ඇත්තේ තමන් විසින් ප්‍රකාශිත සම්මතයන් සහ රීතීන් කඩකරමින් බවය.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ගේ ලිඛිත ප්‍රකාශයක් අනුව නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් ඉහතින් සඳහන් කළ රතු ලේබල් සහිත ඉහළ අවදානම් බහාලුම් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා ඔහු විසින් නිර්දේශ කර අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබේ.
එම කමිටුවේ අධීක්ෂණ අධීක්ෂණ කටයුතු ඔහු විසින් සිදුකරන බව ද එහි දක්වා තිබේ. කමිටුව වගකීමකින් හා පරාදෘශ්‍ය භාවයකින් කටයුතු කිරීමට නිලධාරීන් තිදෙනෙක් සහිත එම කමිටුවෙ අධීක්ෂණ කටයුතු තමන් විසින් භාරගත් බවත් භාණ්ඩ නිදහස් කිරීමේ දී අවම වශයෙන් නිලධාරීන් දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් භාණ්ඩ නිදහස් කිරීමට තීන්දුවක් ගත් බවත් සීවලී අරක්ගොඩ විමර්ශන කමිටුවට දන්වා ඇත.
එසේ වුවද ප්‍රශස්ථව බහාලුම් 309 නිදහස් කිරීම සිදුකළ 2025 ජනවාරි 18 දින රැස් වූ කමිටුව සඳහා සහභාගී වී ඇත්තේ එක් කමිටු සමාජිකයෙක් පමණක් බව විමර්ශන කමිටුව කියයි.
එදින සීවලී අරුක්ගොඩ අධීක්ෂණ කාර්යයෙන් බැහැරව එම බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වී ඇත. බහාලුම් නිදහස් කිරීමට නිලධාරින් දෙදෙනෙක් සහභාගී වුවද ඒ අවස්ථාවේ දී ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට වගකිවයුත්තෙක් සිට නැති බව කමිටුව පෙන්වා දෙයි. කමිටු පෙන්වා දෙන්නේ කිසිම නිලධාරියෙකුගේ අධීක්ෂණයට ලක් නොවී සිදුකළ මෙම ක්‍රියාවලිය යළිත් වරක් නීති විරෝධී බවය.
එමෙන්ම සීවලී අරුක්ගොඩගේ කමිටුව තමන් විසින්ම පනවා ගත් කාර්ය භාර්යයෙන් යළි යළිත් අපගමනය වන ආකාරය ජනාධිපති විමර්ශන කමිටු පෙන්වා දෙයි.
ජනාධිපති විමර්ශන කමිටුව අවධාරණය කරන්නේ බහාලුම් නිදහස් කිරීමට කමිටුවට බලය ලබා දී තිබුණේ අවදානම් කළමනාකරණ පද්ධතිය මගින් රතු ලෙස වර්ගීකරණය කරන ලද භාන්ඩ ස්කෑන් පරීක්ෂාවකින් පසු භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහ නැවත මාර්ගත කිරීමට බවය.
නමුත් සීවලී අරුක්ගොඩගේ කමිටුව විසින් කහ ලෙස වර්ගීකරණය ලද බහාලුම් 158ක් ද නිදහස් කර තිබිණු බවත් ඉන් 103ක් සඳහා ස්කෑන් පරික්ෂාවක් ද කර නොතිබුණු බවත්ය.
රතු ලේබල් බහාලුම් 37ක් නිදහස් කරලා තියෙන්නේ ස්කෑන් පරීක්ෂාවක්වත් නැතිව…
තවත් බරපතල අක්‍රමිකතාවයක් සිදුකර තිබිණි. අරක්ගොඩගේ කමිටුවට බලය ලැබෙන්නේ රතු පැහැයෙන් ලේබල් කළ බහාලුම් ස්කෑන් පරීක්ෂාවකට ලක් කර නිදහස් කිරීමටය. එසේ වර්ග කරන ලද අධි අවදනමා බහාලුම් 151කින් 37ක් නිදහස් කර ඇත්තේ ස්කෑන් පරීක්ෂාවකින් ද තොරවය. එනම් භාණ්ඩ සම්බන්ධව ඇති අවම පරීක්ෂාව ද මගහැරීමෙනි.
මෙම තත්ත්වය බහාලුම් පරීක්ෂා කළ නිලධාරීන් විසින් දැඩි අවධාරණයකින් වාර්තා කර තිබිණි. ඇතැම් බහාලුම්වල විවිධ වර්ගයේ භාණ්ඩ සමානත්වයෙන් තොරව ස්කෑන් පරීක්ෂණයේ දී නිරීක්ෂණය වූ බවත්, මේ අවිධිමත් ප්‍රමාණ සැක සහිත බැවින් එම බහාලුම්වල භෞතික පරීක්ෂාවක් කළ යුතු බවත් ක්ෂේත්‍රයේ මේ බහාලුම් පරීක්ෂා කළ නිලධාරීහු ලිඛිතව දන්වා තිබුනහ. බහාලුම් 114ක් භෞතික පරීක්ෂාවකට ලක් කළ යුතු බව අදාල නිලධාරීන් කමිටුවට ලිඛිතව දන්වා තිබිය දී එම ලිඛිත ඉල්ලීම් නොසලකා එම කමිටුව විසින් බහාලුම් නිදහස් කර තිබිණි. ජනාධිපති විමර්ශන කමිටුව අවධාරණය කරන්නේ ඒ සියල්ල නොසලකා මෙම බහාලුම් නිදහස් කළ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් තබා දඬුවම් කළ යුතු බවය.”
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අවසානයේ දී මෙසේ ද පැවසුවේය.
ඒ වගේම ජනාධිපති විමර්ශන කමිටුව හෙළිදරවු කරනවා 2025/01/17 දිනත් මේ ආන්දෝලනාත්මක බහාලුම්වලින් කොටසක් නිදහස් කරගත්තා කියලා. නමුත් බහාලුම් නිදහස් කරන්න 2025/01/18 දිනයේ දීයි කමිටු තීරණය ගත්තේ. ඒ කියන්නේ කමිටු තීරණය ගන්න දිනට පෙර දින බහාලුම්වලින් කොටසක් නිදහස් කරලා තියනවා. ඒ අනුමැතිය ලැබුන ආකාරය ගැන රේගු අභ්‍යන්තර පරීක්ෂාවක් සිදුකරන්න කියලා ජනාධිපති විමර්ශන කමිටුව නිර්දේශ කරනවා.”
“ඒ අය කලින් නිදහස් කරගත්තේ අර අර්චුනා කියපු කන්ටේනර් ටිකද දන්නේ නෑ.”
“මේක අවුලට ගිහින්. මේ කියන්නේ අපි නෙමෙයි. මේ වංචාව සම්බන්ධ විමර්ශනය කරන්න ජනාධිපති තුමා පත් කරපු කමිටුවයි කියන්නෙ.”
“මේක වැහුවේ ඇයි. ඇයි අපට සැක හිතෙන්නේ නැත්තේ මේ ක්‍රියාවලිය ගැන. අපි අහන්නේ තමුන්නාසෙලට ඡන්දෙදි උදවු කරපු ව්‍යාපාරිකයන්ගෙ බහාලුම් ද මේ එළියට දැම්මේ කියලා. තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ සිටි ව්‍යාපාරිකයින්ගේ කන්ටේනර් හොර පාරෙන් එළියට දමා රාජ්‍ය ආදායම අඩු කිරීමත්, ඡන්දයට උදවු කළ ව්‍යාපාරිකයා සනසන්න කළ ගෝඨාගේ සීනි බදු වංචාවත් එක වගේ.”
“මේ බහාලුම් ගැන සී.අයි.ඩී පැමිණිල්ලක් තියනවා. වංචා හෝ දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිල්ලක් තියනවා. ඇයි සීඅයිඩි එක විමර්ශන කරන්නේ නැත්තේ. ඇයි වංචා දූෂණ විමර්ශන කොමිසම මේ ගැන පරික්ෂා කරන්නෙ නැත්තේ. ඇයි මේ ගැ හොයන්නේ නැත්තේ. අප ප්‍රශ්න කරන්නේ මෙන්න මේ කාරණාවයි. ”
“මහ බැංකුවෙ ගනුදෙනු සිද්ධියෙදි රනිල් වික්‍රමසිංහට චෝදනාව එල්ල වුනේ මහ බැංකුව තිබුනෙ රනිල් වික්‍රමසිංහ යටතේ. අද රේගුව තියෙන්නේ ජනාධිපති තුමාගෙ යටතේ. හොඳට මතක තියාගන්න… මේ චෝදනාවෙන් අනුර කුමාර ජනාධිපතිට ගැලවෙන්න බෑ.”







