අධිකරණ නියෝග නොතැකූ වව්නියාවේ කෝවිලක පූජකයාත් – සහායකයාත් අත්අඩංගුවට

දිනසේන රතුගමගේ

වවුනියාවේ නෙඩුන්කේණී ආදී ලිංගේස්වර ශිව කෝවිලේ ප්‍රධාන පූජකයා සහ ඔහුගේ ආධාරකරුවකු නෙඩුන්කේණී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 11 දා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

මෙම ශිව කෝවිල බලහත්කාරයෙන් ඉදි කරන ලද කෝවිලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වවුනියාව අධිකරණයේ නඩුවක් ගොනු කොට එම කෝවිල ඉවත් කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් මීට පෙරදී ඉල්ලා තිබුණි.

මේ නඩුව සලකා බැලූ අධිකරණය නියමිත පුරාවිද්‍යාත්ම සාධක තහවුරු කර ගන්නා තුරු එම කෝවිලේ සංවර්ධන කටයුතු සිදු නොකරන ලෙසත් මහා පරිමාණයෙන් පූජාවන් සංවිධානය නොකරන ලෙසත් වන්දනාමාන කටයුතු සඳහා පමණක් අවසර ලබා දෙන බවත් වවුනියාව අධිකරණය විසින් මීට පෙර දන්වා තිබුණි.


නමුත් මෙම කෝවිලේ ප්‍රධාන පූජකයා තවත් පිරිසක් සමඟ එක්ව එම කෝවිලේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කොට විශාල පූජාවක් පවත්වා තිබේ.

ඊට අමතරව කෝවිලේ තිබූ ප්‍රතිමාවලට හානි සිදු කොට ඒවා ඉවත් කරන ලද්දේ පුරාවිද්‍යා නිලධාරීන් බවටද චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.

මේ අවස්ථාවේදී පුරාවස්තුවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කෙණී පොලිසියට පැමිණිල්ලක්ද දමා තිබුණි.

නෙඩුන්කේණී පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී ප්‍රධාන පූජකවරයා සහ ඔහුගේ ප්‍රධාන ආධාරකරුවකු පළාතේ නීතිය හා සාමය උල්ලංඝණය වන ආකාරයට හා ජාතිවාදී අදහස් ඉස්මතු වන ලෙසට කටයුතු කොට ඇති බව පෙනී යාමෙන් පසුව ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාල පිරිසක් මෙම කාර්යට හවුල් වී ඇති නිසාත් ප්‍රධාන පූජකවරයා හා ඔහුගේ ආධාරකරුවා වරද පිළිගැනීමත් නිසා ඔවුන් දෙදෙනාව නිදහස් කළ වවුනියාව අධිකරණය මින් ඉදිරියට අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු නොකරන ලෙසට තරයේ අවවාද කොට ඇත.

Exit mobile version