අකුණු සන්නායක පෙන්වා කෝටි ගණන් ගැරූ ජාවාරමුන් 09ක් පොලිස් අත්අඩංගුවේ…

අකුණු සන්නායකයක අළෙවි කර තැනපත් මුදල මෙන් පස් ගුණයක මුදලක් ආපසු ලබා දෙන බවට ගිවිසුම් ගත වෙමින් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන ලද පුද්ගලයින් 09 දෙනෙකු ගෙන යුත් කණ්ඩාමක් නුවරඑළිය පොලීසිය මගින් පෙරේදා (10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් සතුව තිබී එක් කෝටි තිස් තුන් ලක්ෂ හැට දහසක (13360000.00) මුදලක් පොලීසිය සොයාගෙන තිබේ. ඔවුන් නුවරඑළියට පැමිණි මෝටර් රථ තුනක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ තෝරාගත් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගනිමින් අකුණු සන්නායකයක පෙන්වා ඒවා රුපියල් කෝටි 800 ක මුදලකට අළෙවි කළ හැකි බව පවසා මෙම මුදල් එකතු කිරීම සැකකරුවන් විසින් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.


අකුණු සන්නායක අළෙවි කිරීම සඳහා ගැණුම්කරුවන් සොයා ගන්නා තෙක් ගිවිසුම් ගතව ඒ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන බව මොවුන් පවසා ඇත්තේ ලබා දෙන මුදල මෙන් පස් ගුණයක් අකුණු සන්නායක අළෙවියෙන් පසු ඔවුන්ට ලබා දෙන ගිවිසුම් ප්‍රකාර පොරොන්දුවක් මගිනි.

සැකකරුවන් එලෙස ගිවිසුම් ගතව පුද්ගලයින් රැසක ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් ඊට අදාළ ලිපිගොනු රැසක් සොයා ගත් බවත් පොලීසිය පවසයි. පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරියගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාස වංචා විමර්ශන අංශයේ හා නුවරඑළිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දින දෙකක් තිස්සේ සැකකරුවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමෙන් පසු නුවරඑළිය ටොපෑස් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 35-60 වයස් වල පසුවන සැකකරුවන් කොළඹ, මහනුවර හා කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. නුවරඑළිය ප්‍රදේශයට පැමිණ තවත් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනිමට උත්සාහ කිරිමේදි පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Exit mobile version