දූෂණ විරෝධී වීරයාගේ නිදහසේ දූතයා වෙන්නට යන සේනාධිපති සූරයා….

ජාලිය වීරක්කොඩි –

පෙබරවාරි 04 දා රන්ජන් රාමනායකට   නිදහස ලබාදීම වෙනුවෙන් ජනාධිපතිවරයා සම්බන්ධීකරණය කරන නිදහසේ දූත මෙහෙවර ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති පවරාගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ කතා  බහකට ලක් වී තිබේ.

වංචාව හා අල්ලස ඇතුළු දේශපාලන බලය හරහා සිදුවන  මහා පරිමාණ දූෂණය සම්බන්ධව හඬක් නැගූ බව පෙනුණ රන්ජන් රාමනායක  අධිකරණයට අපහාස කිරීම හේතුවෙන්  නියම වුණු වසර හතරක සිරදඬුවම දරාගත නොහැකිව  අවස්ථා ගණනාවක දී තමන්ව නිදහස් කර දෙන ලෙස දේශපාලන සගයන්ගෙන් ඉල්ලා තිබිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අවස්ථා තුනක දී ඔහුව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තුවේ දී එම ඉල්ලීම කළේය.


මේ තත්වය තුළ නිශ්ශංක සේනාධිපති රන්ජන් රාමනායක සම්බන්ධව මැදිහත් වීමට ඉදිරිපත් වන්නේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ, දිල්හානි අශෝකමාලා,  අර්ජුන් කමලනාත් ඇතුළු කලාවට සම්බන්ධ පිරිසක් පිටකෝට්ටේ රැස්වීම් ශාලාවකදී පසුගිය 26 දා හමුවී කරන ලද ඉල්ලීමකට අනුවය.

ඔවුන් ඉල්ලා සිටියේ රන්ජන් රාමනායකට නිදහස ලබා දෙන ලෙස තමන් ඉදිරිපත් කරන පෙත්සම ජනාධිපතිවරයා අතට පත් කරන ලෙසය.   පොහොටට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඇතුළු  තම කණ්ඩායමට ජනාධිපතිවරය හමුවී කතා බහ කිරීමට අවස්ථාවක් සලසා දෙන ලෙසය.

ඒ අවස්ථාවේ දී ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති එම ඉල්ලීම පිළිගන්නේ   මේ රජය  පුද්ගලයන්ගෙන් පලි ගැනීම සඳහා පන්න පන්නා කටයුතු කරන බව තමන් කිසිසේත්ම විශ්වාස නොකරන බව කියමිනි. එමෙන්ම රන්ජන් රාමනායක සම්බන්ධව රජයට කිසිම ප්‍රශ්නයක් නැති බවද ඔහු කීවේය.

අනතුරුව ඔහු කියන්නේ කලාවට සම්බන්ධ පුද්ගලයන්ගේ ලියැවිල්ල ජනාධිපතිවරයා වෙත ලැබෙන්නට සලස්වන බවත්,  වහාම ඔවුන්ට ජනපතිව මුණ ගැස්වීමේ අවස්ථාවක් සංවිධානය කරන බවත්ය.

ඒ අවස්ථාවේදී කලාකරුවන් පැවසුවේ රන්ජන් රාමානයක නිදහස් කරගැනීම සඳහා ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගේ මැදිහත් වීම  අතිශයින්ම බලාපොරොත්තු ඇති කරන බවය.

“ මේ වැඩේ ඔබතුමාට කරන්න පුලුවන්. ඒ ගැන අපට විශ්වාසයි.“ දිල්හානි ආශෝකමාලා කීවාය. ගීතා කුමාරසිංහ පොහොට්ටු මන්ත්‍රීවරිය  නිදහස් දිනය දා රන්ජන් නිදහස ලබා එන බව තමන්ට ඉර හඳ සේ විශ්වාස බව පැවසුවාය.

රන්ජන් දැන් බලාපොරොත්තු සහගතව නිශ්ශංක සේනාධිපති දෙස බලාගෙන සිටින්නේය.  ඒ  පරිච්ඡේදය නිමා වන්නේ අතිශය ඛේදනීය ලෙස බව ලියා තැබිය යුතුය.

නිශ්ශංක සේනාධිපති මේ රටේ වංචාව දූෂණය සහිත අඳුරු යථාර්ථයේ  දැවැන්තම භූමිකාව හසුරුවන්නෙක් බව හෘදය සාක්ෂියක් සහිත ලෝකයේ යුක්ති සහගත මිනිස්සු දනිති. දූෂණය වෙනුවෙන් හඬ නැගූ බව කියන වීරයා නිදහස් කරගන්නට එන නිදහසේ දූතයා නිශ්ශංක සේනාධිපති වීම මේ රටේ විසුළු ස්වරූපය පිළිබඳව අපට කියාපාන්නේය.

දූෂණයට එරෙහිවීම   මහා පෞරුෂයක් සහිත  සමාජ දෘෂ්ඨියකින් කළ යුතු එළඹුමකි. එය  ගැලරියේ විෂිල් පාරට  “රන්ජා“ සිනමා පටයේ නින්ජාගේ භූමිකාව රඟ දක්වනු තරම්  මහපොලොවේ දී පහසු නැත. සැබෑ සමාජ අරගලයක දී  සමාජ භූමිකාවක අගය රූපණය කරන්නට ඉදිරිපත් වන්නෙක් සතුව එම කටුක යථාර්ථයට මුහුණ දිය හැකි පෞරුෂයක්  දැක්මක් සහ කැප කිරීමක් තිබිය යුතුය. එවැනි කැපකිරීම් කළ චරිතාදර්ශ ඕනෑ තරම් ඇත.

එම ජීවිත බර නොදැන ගැලරිය පිනවීමේ අභිලාෂයෙන් කරන දේශපාලනික මැදිහත්වීම්  කෙළවර වන්නේ  නිශ්ශංක සේනාධිපතිලා නිදහසේ දූතයන් කර රටේ රැඟූ වීරයා කුජීත කරවීමෙනි.  මේ අප ඉදිරියේ  කොමිටල් වන්නේ  සමාජ ප්‍රතිමාන පිළිබඳවූ ආදර්ශයන්ය.

තමන්ගේ තරම සහ බර දැනගෙන සමාජ පරිවර්තන වෙනුවෙන් පුද්ගලයින්  ඉදිරිපත්  කළ යුතු බව මුලින්ම අපට කියා දුන්නේ අපේ ජනාධිපති තුමාය.   රන්ජන් රාමනායක නිශ්ශංක සේනාධිපතිගේ මැදිහත් වීමෙන් නිදහස් වී පැමිණීයහොත්  ඒ ඇත්ත යළි තහවුරු වන්නේය.

දැන් ඔහු නිදහස් වී පැමිණ කුමක් කරනු ඇති ද?. දූෂණ විරෝධී මෙහෙයුම අලුත් වටයකින් අරඹනු ඇති ද?

ඇත්තටම රන්ජන් පවුය.  මේ ලියන මාත් පවුය. කියවන උඹත් පවුය.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොහොට්ටු මන්ත්‍රීනී ගීතා ඇවන්ගාර්ඩ් සභාපතිගෙන් කළ  ඉල්ලීම … ජනපති හමුවීමට අවස්ථාවක් ලබා දෙන්න!  

Exit mobile version