රුපියල් මිලියන 120ක් මූදුබත් කළ ගල්කිස්සේ වැලි කෙළිය…

අලංකාර ගල්කිස්ස මුහුදු වෙරළ පැවති ආකාරය ( ඉහළ), වැලි පොම් කර පිරවීමෙන් පසු ( වම්පස) සහ මුහුදු රළ විසින් පිරවූ වැලි කන්ද මුහුදට රැගෙන ගොස් ඇති අයුරු ( දකුණේ).

තුෂාරී කළුබෝවල –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණයෙන් යුත් සොඳුරු ස්වභාවික වෙරළ තීරයක් ව තිබූ ගල්කිස්ස මවුන්ට් ලැවේනියා වෙරළ තීරයේ සොඳුරු බව යට කර වසා දැමුණු මුහුදු වැලි තට්ටුවෙන් සැළකිය යුතු කොටසක් සොබා දහම විසින් ඊයේ (31) ගලවා යළි මුහුදට මුදා හැර තිබේ.
සංචාරකයින් පමණක් නොව පෙම්වතුන්ගේ ද පාරාදීයක් වූ ගල්කිස්ස වෙරළ චිත්‍රපට, ටෙලි නාට්‍ය මෙන් ම ගීත රැසකට ද රූප රචනා එක් කළ ආදරණීය වෙරළකි.
මීට මාස එකහමාරකට පමණ පෙර එහි සුන්දරත්වය වනසා දමන ලද්දේ පසුගිය රජය විසින් ලබා දෙන ලද කැබිනට් අනුමැතියකට ද අනුව ය. ඒ අනුව වෙරළ සංරක්ෂණ ව්‍යාපෘතිය තුනක් රුපියල් ලක්ෂ 890 ක වියදමින් සිදු කිරීම ඇරඹිණි.
2017 වසරේ ඇති වූ ගංවතුර ක්ෂණික ව මුහුදට බැස්සවීම සඳහා දුර දිග නොබලා තීරණ ගනිමින් කළුතර බලධාරීන් විසින් හිත්පිත් නැති ව කඩා වනසා දමන ලද කැලිඩෝ වෙරළ සංරක්ෂණය ඉන් ප්‍රමුඛ විය. දෙවැන්න වූයේ අඟුලාන සිට රත්මලාන දක්වා මුහුදු ඛාදනයට ගොදුරු වූ වෙරළ තීරය මුහුදු වැලි පුරවා සංරක්ෂණය කිරීම ය. අනෙක් කටයුත්ත වී තිබුනේ මෙකී සොඳුරු ගල්කිස්ස වෙරළ ය. එයට පමණක් වැය කළ මුදල රුපියල් මිලියන 120 කි.
කොරෝනා කාලයේ නිවෙස්වලට සිර වූ අසරණ දුගී ජනයා පවා රජයට ගෙවූ බදු මුදල් මේ සඳහා වැය වූවා මිස එකී රුපියල් මිලියන 120 අහසින් පහළ වූයේ නැත. මුහුදු ඛාදනයට බරපතල ලෙස ගොදුරු ව නිවාස පවා මුහුදට ගසාගෙන යන ස්ථානවලට වැලි පිරවීම එක් අතකින් අසාධාරණ නොවනු ඇත. කිහිප දෙනෙකු එක් වතාවකදී සිදු කළ අනුවණකමක තරමින් අදටත් දින දෙක තුනක පෑවිල්ලෙන් කළුතර දිස්ත්‍රික්කයේ බහුතරයක් ජනයාට සිදු වන්නේ මුහුදු ලුණු මිශ්‍ර ජලය පානය කිරීමට ය.
ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවාගත නොහැකි වන බැවින් කැලිඩෝ වෙරළ කෙසේ හෝ නිසි පරිදි සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පවතී. අඟුලාන රත්මලාන වෙරළ තීරය ද එසේ ම ය. එසේ වුවත් ඒවාට යෙදූ මුහුදු වැලි ද බොහෝ ප්‍රමාණයක් පසු ගිය වෙසක් පොහෝ දිනට පෙර දින මුහුදේ ඇති වූ දැඩි කැළඹිලි ස්වභාවය නිසා යළි මුහුදට ම යන්නට පටන් ගත් අතර එතැන් පටන් මේ දක්වා විශාල ප්‍රමාණයකින් මුහුදු වැල්ල ආපසු ඈත මුහුදට ම ගසාගෙන ගොස් තිබේ.
අහිංසක මිනිසුන් එදා වේල සරි කර දුක සේ උපයා ගත් රුපියල් මිලියන 120ද නැති නාස්ති කර දමමින් ගල්කිස්ස වෙරළ යට කර වසා දැමූ වැලි කන්දේ තත්ත්වය ද එසේ ම ය. පෙනෙන නොපෙනෙන ඈත මුහුදෙන් විශාල පොම්පයක් හා අධි බල මෝටරයක් යොදා ගනිමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ආශිර්වාදයෙන් විදේශ සමාගමක් විසින් මිලියන ගණනක් ගිලමින් සිදු කළ මෙම ක්‍රියාවලියේදී ඉතා වේගයෙන් මුහුදු වැලි මුහුදේ සිට වෙරළ දෙසට පොම්ප කෙරිණි.
එහිදී ගැඹුරු මුහුදේ සිටින වටිනා ජෛව සත්ත්වයින් වූ මුහුදු බෙල්ලන් විශාල ප්‍රමාණයක් විනාශයට පත් විය. පොම්ප කිරීමෙන් ඇති වූ මුහුද අභ්‍යන්තර කැළඹීම් නිසා මුහුදු ජීවීන්ටත්, මුහුදු ශාඛවලටත්, මුහුදේ අභ්‍යන්තර පිහිටීමටත් බරපතල හානි සිදුවී ඇති බව ද පරිසරවේදීහු පවසති.
ගල්කිස්ස වෙරළේ ස්වාභාවික පිහිටීමටත්, අලංකාරයටත් සිදු වූ හානිය ඊටත් වඩා දෙතුන් ගුණයකින් වැඩි ය. 1805 සිට 1811 දක්වා මෙරට සිටි තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍යයෙක් වුවද ඔහු හෝ ඉන්පසුව ඒ ආශ්‍රිතව බිහි වූ අහිකුන්ටික ගම්මානයේ ජීවත් වූවන් පවා කිසිවෙකුත් හෝ මේතාක් මෙම ගල්කිස්ස වෙරළ වනසා දැමුවේ නැත. මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා හා ලැවීනියා අතර ඉතිහාසගත ආදර අන්දරයට ද පාදක වන්නේ මෙම සොඳුරු ගල්කිස්ස වෙරළ ය. ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි (The Bridge on the River Kwai) චිත්‍රපටයේ (1957) ද රූගත කිරීම් කිහිපයක් මේ ආශ්‍රිත ව සිදුවී තිබේ.
ඉතිහාසය, වර්තමානය හා අනාගතය පිළිබඳ කිසිවක් නොසොයා නොබලා මුදල් වනසා දැමූ පුස් ව්‍යාපෘතියක් බවට පත් වූ මේ පිළිබඳ විමසීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ හාස්‍යෝත්පාදක කතාවකි.
“වැලි අඩු වෙලා තියෙන්නේ එක පැත්තක විතරයි. අපට කොහොමටත් ඕනෙ වුණේ එක පැත්තක වැලි අඩු කරන්න තමයි. වැල්ලවත්ත දෙසට කිලෝමීටර් දෙකක විතර වෙරළ තීරයක් තමයි අපට හදන්න ඕනෙ වුණේ.” ඔහු කියන්නේ ය.
එහෙත් පරිසරවේදීන් පවසන්නේ ගල්කිස්ස මවුන්ට් ලැවේනියා වෙරළ මුහුදු හා අපෘෂ්ඨවංශික ජීවීන් මෙන්ම කුරුලු විශේෂ ද ඇල්ගී, වැටකෙයියා වැනි විවිධ ශාක වර්ග ද බොහෝමයක් පැවති ජෛව විවිධත්වයෙන් යුතු පාරිසරික වටිනාකමක් සහිත ස්වාභාවික මුහුදු බොක්කක් බවයි.

Exit mobile version