ගල්කිස්සේ කුණු අස්සේ නොඇසෙන කතා

තුෂාර කළුආරච්චි –

ගල්කිස්ස වෙරළට එකපාරටම කුණු කන්දක් ආවේය.  ඒ කුණු කන්ද එන්නේ අතිශයින්ම ගර්හාවට ලක් වූ ව්‍යාපෘතියක් වන ගල්කිස්ස වෙරළ පිරවීමේ වැලි කෙළිය කර  හොඳටම අනාගත් පැත්තටය. ඒ එන්නේත් පරිසර දිනයේ ( 05) දී ය. දැන් වැල්ලවත්ත පුරවන්නට ගල්කිස්සට වැලි පිරවූ සිද්ධිය කතා වෙන්නේ නැත. ගල්කිස්සේ දී ගහගෙන ගිය වැලි ව්‍යාපෘතියේ මිලියන 110 ගැන කතා වෙන්නේත් නැත. දැන් කතා වෙන්නේ හිටි අඩියේ ගල්කිස් වෙරළට ගොඩ බැස්ස කුණු කන්ද ගැනය.

මේ කුණුත් විශේෂය. මොකද කියනවා නම් මේ පාවී එන්නේ වෙන් කළ කුණුය. වෙන් කළ කුණු වෙන් වන්නේ නගරසභාවක ක්‍රියාවලියක දී ය. නැතිනම් කසල අංගනයක කුණු දැමීමේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක දී ය.

ඒ පසුබිමේ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දුට චෝදනා එල්ල වන්නේ මෙය ඔහුගේ අනුදැනුමින් සිදුකළ පරිසර අපරාධයක් ලෙසය. කොරෝනා ඇඳිරි නීතිය වකවානුවේ දී මොරටුව නගර සභාව විසින් බෙදා හළ හිස් වියලි ආහාර ඇසුරුමක් පදනම් කරගෙන සමහර පරිසර සංවිධාන නගරාධිපතිවරයාට චෝදනා එල්ල වන්නේය.


මෙහිදී  අදහස් දක්වන පිරිස් අතරින් අයෙක් මොරටුව නගර සභාවේ නගරාධිපති විසින්  කළ අපරාධයක් බව කියන්නේය.  තවත් අයෙක් කියන්නේ තෙවරක්ම මොරටුව නගරාධිපති වූ , මෙවර මහමැතිවරණයට තරග වදින්නට නියමිත සමන්ලාල් අපහසු තාවයට පත් කිරීමට අයෙක් කළ හැකි බවය. තව පිිරිසක් කියන කතාව ආකර්ෂණීය ය.

“ තමන්ට අවධානය යොමු කරගන්න මෑන් ප්ලෑන් කරලම කළා ද දන්නේ නෑ…. ඒ ජාතියෙ බඩුව. දැන් රටම කතා වෙන්නෙ මෑන් ගැනනෙ..“

අනෙක් පසින් මේ වෙනවිට මේ කුණු හුටපටය සම්න්ධව ගල්කිස්ස පොලිසියට පැමිණිල්ලක් දමා ඒ වෙනුවෙන් ප්‍රධානම වැඩ කොටස කරනු ලබන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්තිය. ඔහුට පසුගිය 05 දක්වා එල්ල වී තිබුණු චෝදනාව දැන් කොහෙන්දෝ ප්‍රාදූර්භූත කුණු කන්දකින් වැසී ඇත. ප්‍රභාත් චන්ද්‍රකීර්ති ගේ ගැලවුම්කාර කුණු ගැන වෙනම කල්පනා කර බලන්නට අපට ඉඩ හසර සලසා තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට පළමුවරට උත්සාහ කර තිබුණේ 2018 වසරේදී ය. නමුත් එම අවස්ථාවේදී නිසි ආකාරයට අනුමැතිය නොලැබුණු අතර සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව 2020 ජනවාරි මස 22වැනි දින මේ සඳහා  කැබිනට් අනුමැතිය හිමි විය. ව්‍යාපෘතියට වැය කළ මුලු මුදල රුපියල් මිලියන 890 කි.

මිනිසුන් හාමත් වෙද්දී මුහුදට ගිය මිලියන් ගණනනේ අවලාදය මේ ඡන්ද කටේ වළක්වා ගැනීමට ආණ්ඩුවම මොරටුව නගරාධිපති සමන්ලාල්  එක්ක ගුණ්ඩුවක් ඇටෙව්වා දැයි සිතන්නෝද වෙති.

පැහැදිලිම ඇත්ත නම් මේ කුණු කන්දේ පැමිණීම අස්වාභාවික බවය. පැමිණ ඇත්තේ තේරූ කුණු බවය. මේ පසුපස කවුරුන් හෝ බලවත් කණ්ඩායමක් සිටින බවය. පොලිසිය මේ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ ගැන ඒ තරම් විශ්වාසයක් නැතත්  ස්වේච්ඡා කණ්ඩායම් සමග එක්ව  පොලිසිය හා රක්නා ලංකා සමාගම ගල්කිස්සේ කුණු ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබීම නම් සැනසිල්ලට කරුණකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ගල්කිස්සේ කුණු අස්සෙන් අප නොදත් කතා හෙට අනිද්දා හෙළි වීමට නියමිතය.

 

 

 

Exit mobile version