කලු කොටියා සමුගනී…

තුෂාරී කළුබෝවිල –

හැටන් නල්ලතන්නි ලක්ෂපාන වතු යායේ මද්දකට හසුවී සිටියදී වන ජීවී නිලධාරීන් විසින් සොයා ගන්නා ලද කලු කොටියා මියගොස් තිබේ.

අවසන් ගමන

දඩයක්කරුවෙකු විසින් අටවන ලද මද්දකට හසු වීමෙන් ගෙලටත්, ඉදිරි පාදයටත් බරපතල තුවාල සිදුවී තිබියදී වන ජීවී නිලධාරීන් මහත් පරිශ්‍රමයක් යොදා නිර්වින්දනය කොට ප්‍රතිකාරක සඳහා මෙම කලු කොටියා රන්දෙණිගල රජයේ පශු වෛද්‍ය රෝහල වෙත කඩිනමින් රැගෙන ගොස් ප්‍රතිකාර කර ඇත. නමුත් තත්ත්වය  යහපත් නොවන බැවින් වැඩි දුර ප්‍රතිකාර සඳහා උඩවළව ඇත් අතුරු සෙවණට රැගෙන ගිය ද මෙම දුර්ලභ සත්ත්වයා අද (29) එහිදී මියගොස් තිබේ.

අනතුරට පත් වූ මොහොතේ පටන් මිය යනතුරු මෙම වටිනා සත්ත්වයාගේ දිවි රැක ගන්නට මහත් පරිශ්‍රමයක් දැරූවද එයින් එම සත්ත්වයාට ජීවය නොලැබුණි.


ලෝකයේ කොටි විශේෂ 8 ක් අතරින් ශ්‍රී ලංකාවේ කොටියා සුවිශේෂ වේ. එයින් ද බ්ලැක් පැන්තර් (Black Panther) ලෙස හැඳින්වෙන මෙම අතිශය දුර්ලභ කලු කොටියා සුවිශේෂ වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වඳවී යන සත්ත්වයෙකු බැවිනි. මීට පෙර පිටදෙනිය මාඋල්දෙනිය ප්‍රදේශයේ උගුලකට හසුවී මියගොස් සිටියදී හමුවූ කලු කොටියා මෙරට අවසන් කලු කොටියා ලෙස සැළකුණි. එම කලු කොටියාගේ සම සංරක්ෂණය කොට ගිරිතලේ වන ජීවී කෞතුකාගාරයේ අනුරුවක් සකසන ලදී.

ශ්‍රී ලංකාවේ කොටි පිළිබඳ පර්යේෂණ සිදු කළ වන ජීවී දෙපාර්තමේන්තුවේ මාලක අබේවර්ධන මහතා හා මනෝජ් අකලංක මහතා විසින් ට්‍රිපිකල් එකෝ සිස්ටම් රිසර්ච් ආයතනයෙන් ලබා ගත් කැමරා සහ තාක්ෂණික උපකරණ යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයකදී සිරිපා අඩවියෙන් කලු කොටියන් පිළිබඳ සජීවී රූප රාමු ලබා ගන්නා ලද්දේ 2019 ඔක්තෝබර් 26 වැනිදා ය. කැලයේ අටවන ලද දුරස්ථ චලන ස්ංවේදී කැමරාවක එදින කලු කොටියා ජීවමාන වූයේ ලෝක වන ජීවී ක්ෂේත්‍රයේ අද්විතීය සොයා ගැනීමක් ද ලෙසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වන ගහනයෙන් යුතු සීත පරිසරයේ අඳුරු ස්වභාවයත්, අඩු උෂ්ණත්වයත් හේතුවෙන් ශරීර වර්ණයට අදාළ වර්ණ දේහ නිලීන වීමෙන් හා මෙලනින් වර්ණකය වැඩිවීමෙන් කලු පැහැ ගත් මෙම කලු කොටියා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන පැන්තරා පාඩුස් (Panthera Padus) කොටියා යන උප විශේෂයේ ම වර්ණ ප්‍රභේදයකි. මෙම කලු කොටියා සමග තවත් පටවුන් දෙදෙනෙක් හා ධේනුවක් ද සිටින බව අනාවරණය කෙරිණි.
එම සොයා ගැනීමෙන් පසු මාධ්‍ය මගින් සිදු කළ ප්‍රසිද්ධිය මෙම වටිනා දුර්ලභ කලු කොටියාගේ මරණයෙහි ආරම්භය සනිටුහන් කෙරිණි. වතු ආශ්‍රිතව ජීවිකාව ගෙන යන ජනයා එතැන් පටන් තම ජීවිකාව ගෙන යන ලද්දේ මහත් බියෙනි. කොටි ඉව සොයා යන දඩයක්කරුවන්ට ද එම පුවත මහත් හෝඩුවාවක් විය.
එම හෙළිදරව්ව සිදු කළේ නම් එම සතුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම ද මීට වඩා දැඩි විය යුතුව තිබුණි. එම සතුන්ට නිදහසේ ජීවත්වීමට තරම් ්සුරක්ෂිත බවක් තිබුණේ නම් මෙම වටිනා පාරිසරික ජීවියාට මෙවන් විපතක් අත් නොවනු ඇත. අද දවසේ වුවද මෙම දුර්ලභ සත්ත්වයාගේ දරු පවුල සිටිනුයේ දැඩි අවධානමක ය. මිය ගිය පසු වටිනාකම් පිළිබඳ පුරසාරම් හා ළසෝ ගී නොගයා වටිනා වන ජීවීන් රැක ගන්නට බලධාරීන් වග කිවයුතු ය.

Exit mobile version