අලිමංකඩක අලි වැටක් ගසා අලි කරදයක වැටෙන්න යන ගල්ගමුවේ මිනිස්සු

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, පාලුකඩවල වැව් ඉස්මත්තේ , සෑම දිනකම හවසට දැකිය හැකි අපූරු දසුනක් තිබේ. එනම්, වැව් ඉස්මත්තට පැමිණෙන වල් අලි සියයක් හෝ ඊට ආසන්න ගණනක් නිදහසේ වැවෙන් වතුර බී පේමනීය ඇළ හරහා හෙමිහෙමින්  ගම් වදින ආකාරයයි.

අතරගල්ල, අබකොලවැව, පාලුකඩවල, එරියාව ,යද්දෙස්සාව, අමුණුගම, කඩහතගම , වෙහෙරගොඩයාය, ගුරුගොඩ, කිරිමැටියාව,  යන ගම් පුරා මේ වල් අලි   රාත්‍රි කාලයේ ගමන් කරති. ඒ නිවෙස්වලට, වගා බිම්වලට, මිනිස් ජීවිතවලට හානි පමුණුවමිනි.  නිදි වර්ජිතව අලි පන්නා දැමීම මේ ප්‍රදේශයේ මිනිසුන්ගේ දෛනික කාර්යයක් බවට පත්ව තිබේ.

වසර ගණනාවක් තිස්සේ පවතින මේ ගැටලුවට විසඳුම් ලෙස අලි ගම්වදින මාර්ග කොටස හරහා විදුලි වැටක් ඉදි කිරීමට ගම්මු යෝජනා කරති. එහෙත් ඒ සඳහා වගකිවයුත්තන් අවධානය යොමු වුවද, එය ක්‍රියාත්මක කිරීමට යාමේදි ඔවුන් පසු බසින්නේ ඇයිදැයි  යන්න  ගම්වාසීන්ට අලි ගැටලුවටත් වඩා ගැටලුව කි.


පාලුකඩවල වැව හා පේමනීය ඇළට යාබදව මීටර් 500ක් පමණවන මෙම මාර්ග කොටසට විදුලි වැට ඉදි කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ,ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශාන්ත විජේනායක මහතා විසින් ප්‍රාදේශීය සභාව හරහා ලබා දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.ඒ පිළිබඳව තම අදහස් පල කළ ශාන්ත විජේනායක මහතා ….

ප්‍රාදේශීය සභාවේ උප සභාපති ශාන්ත විජේනායක

“අවුරුදු ගනනාවක් තිස්සේ පවතින මේ ගැටලුවට විසඳුමක් විදිහට තමයි පාලුකඩවල වැවට යාබද  පේමනීය ඇළ මාර්ගයේ විදුලි වැට ඉදි කරන්න යෝජනා කලේ. ප්‍රදේශයේ සංවර්ධන ට ලැබෙන මුදලින් ලක්ෂ 5ක් මේ සඳහා වෙන් කර ගත්ත . මීට පෙරත් විදුලි වැට ඉදි  කරන ව්‍යාපෘතිය ක් ක්‍රියාත්මක වුනා. ඒ අදාළ තැන්වල කණු පවා තියෙනවා.. නමුත් දැන් අවශ්‍ය මුදල් ලැබී තිබියදීත් වගකිවයුත්තෝ මඟ හරිනවා.. අපි ගමේ අසරණ, අහිංසක මිනිස්සු එක්ක හැමදාම ගල්ගමුවෙ වනජීවී එකට බඩගානවා. ඒත් මේ අය මේ තරම් නිහඬ මේකෙන් සාක්කුවට අමතර මුදලක් නොවැටෙන නිසාද කියල අපිට සැක හිතෙනවා .බලධාරීන් තව දුරටත් නිහඬව හිටියොත් මේ අහිංසක මිනිස්සු අලු ගසා දාල නැගිටියි. එදාට මහ නස්පැත්තිය ක් වේවි. ඒ අනතුර ඉව වැටුණු නිසයි අපි මේ විදිහට මේක රටටම කියන්න තීරණය කලේ…”

අලි වැටට ගැසූ කණු

මෙම විදුලි වැට ඉදි කිරීමට නායකත්වය ගෙන කටයුතු කරන්නේ වන්නි හත්පත්තුවේ ද්වීතියික සංඝ නායක පූජ්‍ය වලත්වැවේ රාහුල හිමියන් ය.  උන් වහන්සේ ප්‍රකාශ කලේ මෙවැනි අදහසකි.

“අලි ගම් වැදීමේ ගැටලුව හඳුනාගෙන, ඒක ට විසඳුමත් සොයාගෙන , අවශ්‍ය මුදල් ප්‍රතිපාදනත් වෙන් කරගෙන තමයි අපි වනජීවි එකේ ප්‍රධානියා ළඟට ගියේ.   ඒ ගියාම ඔහු කියනවා අපිට වගකීම බාර ගන්න  කියල . එතකොට අලි නිසා මේ ප්‍රදේශයේ මිනිස්සු විඳින දුක ඒ ගොල්ලො බාර ගන්නවා ද..? මේවා වැඩෙන් ගැලවෙන්න කරන ප්‍රකාශ.. අපි වගකීම බාර ගන්න පුලුවන් නිසා තමයි මේ වැඩේට බැස්සෙ.. දායකයො වෙනුවෙන් මං මේ හඬ නගන්නෙ.. ඔවුන් බේර ගන්න ඕන නිසා.. විදුලි වැට ඉදි කරල දෙන්නෙ නැත්තම් වනජීවී නිලධාරීන් මේ ජීවිතවලට වග කියන්න ඕන.  නැත්තම් මේ අහිංසක මිනිස්සු එක්ක අපි ළඟදි ම පාරට බහිනවා…..”

පාලුකඩවල වැව අසලම පදිංචි වී සිටින විජේකුමාර රාජපක්ෂ ගොවි මහතා ඉතා කනගාටුවෙන් මෙසේ පැවසුවේ ය.

“හැන්දෑවට වතුර බොන්න එන අලි සීයක් විතර මේ පැත්තෙ තියන සියලුම ගම්වලට බෙදිල යනවා. කුඹුරු පිටිවල දවල් තිස්සේ නැහෙන අපිට රෑට නිදාගන්න ත් නෑ.. වගාවක් කරගන්න නෑ .  අලි වැට ගහන්න කීවාම වනජීවී එකේ අය කියනවා මෙතන අලි මංකඩක් ලු.  මෙතන මේ වනතුරු නම් අලි මංකඩක් තිබිල නෑ.  වැඩෙන් මගහරින්න නිලධාරීන් හදාගත්ත හේතු ඒවා. අලි එන වෙලාවට කෝල් කලත් පැත්ත පලාතෙ එන්නෙ නෑ. එයාල සැපට නිදාගන්න වා. තුවාලෙ තියෙන මිනිහට තමයි ඒකෙ වේදනාව. පුදුම කරුමයක් මේක ..”

ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ

මේ ගැටලුව සම්බන්ධයෙන් ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ  මෙසේ පැවසුවාය …

“අලියා කියන්නෙ ඉතාම බුද්ධිමත් සත්වයෙක්. අලි සංචරණය සීමා කරන්න අසීරු යි. ඔය කියන ස්ථානය  අලි මංකඩක්. මගේ දැනීමෙ හැටියට අලි මංකඩක් අහුරා දැමුවොත් කරදර දෙගුණ තෙගුණ වෙන්න පුලුවන්. නමුත් වනජීවි එකේ අනුමැතිය ට අනුව තමයි මේ කටයුත්ත සිදුකල යුත්තේ.”

මේ ගැටලුව පිළිබඳව ප්‍රායෝගිකව හොයා බැලූ වයඹ වනජීවී සහකාර අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ    මේ අයුරින් කාරණය පැහැදිලි කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ඔය කියන ස්ථානය ගැන ගිහින් ම පරික්ෂා කරල බැලුව. ජනතාව ගේ ඉල්ලීම සාධාරණ යි. නමුත් මා සොයා ගත් දත්තවලට අනුව එතැන අලි මාරුවෙන තැනක්. ඊට අමතරව තේක්කවත්ත ප්‍රදේශයෙනුත් ඔය පැත්තට අලි එනවා. මේ දත්ත සිතියම් ගත කරල තව දුරටත් අදාල නිලධාරීන් සමග සාකච්ඡා කරල  නිවැරැදි තීන්දුව ක් ගන්නවා…”

 

 

 

Exit mobile version