හය වසරකට පෙර ආදී ලිංගේස්වර කෝවිල වූ පුරාණ   වඩ්ඩමාන පබ්බත විහාරය

දිනසේන රතුගමගේ –

මේ රටේ වාර්ගික අතීතය චිත්‍රණය කළ අධ්‍යාත්මික ප්‍රකාශනය වූයේ ඒ ඒ සංස්කෘතීන් ගේ  ආගමික උරුමය සහිත අතීත නටබුන්ය. මෙම පුදබිම් බෙදා වෙන්වීමට නොව එක්ව වන්දනා කිරීමට නිමිති සැපයුවේය. දමිල බලය වැඩී වර්ධනය වී පැමිණි උතුරේ පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන ඔවුන්ගේ පාලනය තුළත් ආරක්ෂා වී පැවතුනේ   දියුණු සංස්කෘතික සංයමයක් සහිත සමාජයක් පැවති බැවිනි. 

සමහර අවස්ථාව වලදී දකුණේ සිංහල රජවරුන් සමග ගැටුම් ඇති වූ බව සැබෑය. දකුණේ සේනා උතුරුකරය ආක්‍රමණය කළ බවත් සැබෑය. මේ ගැටුම රටේ ඉතිහාසයේ අවියෝජනීය අංගයක් වූයේය. එහෙත් උතුරේ හෝ දකුණේ ආගමික සිද්ධස්ථා වියරු ගෝත්‍රික වෛරයට බඳුන් වූ අවස්ථා දුලබය.

එහෙත් ඒ දියුණු සංස්කෘතික අතීතය අපට දැන් බොහෝ දුරය.  බෞද්ධ හෝ හින්දු උරුමය  මතු කරගැනීම ආක්‍රමණයක් සේ දකින මානසික වියරුව මේ පොළොවේ ඇත්ත දකින්නේ නැත. එබැවින් ඉතිහාසයෙන් සාධනය වන අතීතය ආරක්ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නඩු කියන්නට සිදු වී තිබේ. මේ වන විට එවැනි නඩු ගණනාවක් උතුරේ අධිකරණවල විභාග වෙමින් පවතී.

වවුනියාවේ නෙඩුන්කේණී ප්‍රදේශයේ පිහිටි   වඩ්ඩමාන පර්වත විහාරයට මේ වන විට සිදුව ඇත්තේද ගෝත්‍රික ජාතිවාදී විග්‍රහයන් තුළ මතුවන   අයිතිය පිළිබදව වූ ප්‍රශ්නයකි. මේ බෞද්ධ සිද්ධස්ථානයේ පුරා වස්තු විනාශ කරන ලද   ප්‍රධාන හින්දු පූජකවරයෙකු ඇතුළුව තුන් දෙනෙකු නෙඩුන්කේණී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ. එම තිදෙනා බන්ධනාගාර ගත කිරීමෙන් පසුව දැන් ඇප මත නිදහස්ව සිටිති. මැයි මස 5 වෙනිදා සිට එම නඩුව වවුනියාව මහාධිකරණයේදී විභාග වීමට නියමිතය.


ඒ මේ ස්ථානය සම්බන්ධයෙන් වූ එක් නඩුවක් පමණි. තවත් නඩු තුනක් මේ බෞද්ධ සිද්ධස්ථානය සඳහා පමණක් පැනවීමට  පොලීසියට සිදුව තිබේ. ඒ  බෞද්ධ පරිසරයක වූ පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සඳහාය.

යුද සමයේදී මේ බෞද්ධ සිද්ධස්ථානය පිළිබඳව අවධානය යොමු කිරීමට කවරෙකු හෝ නොමැති විය.   යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී මෙම පෞරාණික ස්ථානයට අවට ගම්වාසීන්ගේ බැල්ම වැටුණි. ඔවුහු එහි ගොස් මල් පහන් පුදා ආගමික වතාවත්වල නිරත වූහ. ක්‍රම ක්‍රමයෙන් මේ තත්ත්වය වර්ධනය වී වසර හතරක් පහක් වන විට වඩ්ඪමාන පර්වත විහාරය ඔවුන්ගේ ශිව කෝවිලක් බවට පත්වූයේය.

අද පළාතේ  ජනතාව මේ ස්ථානය හඳුන්වනු ලබන්නේ වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙනි.

ඒ දක්වා වූ කතාවේ අවස්ථා සම්බන්ධයන් රැසක්ම ඇති නිසා ඒ ගැන ලිවීම පසු පරිච්ඡේදයකට යොමු කොට පලමුව මේ ස්ථානයේ පිහිටීම හා එහි බෞද්ධ ඓතිහාසික පදනම පිළිබදව සාකච්ඡා කිරීම වැදගත් වේ යැයි සිතමි.

වඩ්ඪමාන පර්වත විහාරය

කටාරම් කෙටූ ලෙන් සිහිත වඩ්ඪමාන පර්වත විහාරය

මේ වඩ්ඪමාන පර්වත විහාරයට වවුනියාවේ සිට යා හැකි මාර්ග කීපයක්ම වෙයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නා මාර්ග දෙක ඕමන්ත හරහා ගොස් මරයීලුප්පෙයි ප්‍රදේශය හරහා ගමන් ගන්නා කැළෑ බද මාර්ගයයි. අනෙක් මාර්ගය වන්නේ වවුනියාවේ සිට  ඒ-9 මාර්ගය ඔස්සේ පුලියන්කුලම දක්වා ගොස් නෙඩුන්කේණියට  ගමන් ගන්නා මගේ ගොස් මේ ස්ථානයට පිවිසීමයි.

විශාල පර්වතයකින් යුත් මේ සිද්ධස්ථානය අක්කර හතර හමාරක පහක පමණ භූමියකින් සමන්විත වෙයි. කන්ද තරණය කිරීමට එක් පසෙකින් ගල් වලින් සකසන ලද ගල් පඩි පෙළක් ඇත. ඒ මුදුණට ළඟා වූ විට ගල් ලෙන් කීපයක්ම දැකිය හැකි අතර මේ වන විටත් එම ගල් ලෙන් පෙළෙන් හතරක් ඉතාම පිරිසිදුව හා නෂ්ඨාවශේෂ නොවී පවතී. අතීතයේදී භාවනායෝගී භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් මේ ස්ථානයේ සිටි බවට සාධක ඇත.

ගල්ලෙන් සියල්ලම  ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී පමණ කරවන්නට ඇති බවට ඒවායෙහි සඳහන් බ්‍රාහ්මී අක්ෂර අනුව පැහැදිලි වන බව ප්‍රමාණික විද්වත්හු තහවුරු කරති.    එම ලිපිවල සදහන් පාඨයන් පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් විසින්  ”නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” නැමති ග්‍රන්ථයේ දක්වා ඇත්තේ මෙසේය.

ලෙන් වල කටාරම් ලිපි වශයෙන් දැකිය හැකි මෙම පාඨයන් අනුව  මහා ශමුද ගුත, බමදත, වුඩ්තිශ, පුශමිත වැනි දායකයෝ මේ ලෙන් තනා පූජා කොට තිබේ. එහෙයින් ඔවුන් අනිවාර්යෙන්ම  එවකට එම පළාතේ   බෞද්ධයන් විය යුතුය.

දායකයින් පිළිබඳව නාමයන් සඳහන් වූවත් එම කාලවකවානුවේදී මේ  වඩ්ඩමාන පබ්බත විහාරයට අනුග්‍රහය දක්වන ලද හෝ කරවන ලද රජතුමෙකු පිළිබඳව නිශ්චිතව යමක් කිව නොහැකි බව විද්වත්හු පවසති. නමුත් ලෙන්වල කොටා ඇති කටාරම් ලිපිවල සඳහන් බ්‍රාහ්මීය අක්ෂර කියවිය හැකි නිසාත්  ඒවා කොටා ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මුල්භාගයේදී නිසාත් මේ ස්ථානය පිළිබදව විධිමත් ගවේශනයක යෙදෙන විද්වතෙකුට  ශ්‍රී ලංකා රාජ්‍ය නාමාවලිය සුවිශේෂී ලෙස පරීක්ෂා කිරීමෙන් ඊට පැහැදිලි අදහසක් ලබා ගත හැකිය.

ලෙන් තුළ තැන්පත් කර ඇති නාග ප්‍රතිමා

ලෙන් වලට මදක් ඈතින් කැබලි වලට කැඩී ගිය ශ්‍රී පතුල් ගලක්ද අත්තිවාරම් දැමූ ගල් හා ගඩොල් කොටස්ද දැකිය හැකිය. මේ භූමියේ බුදු මැදුරු පධානඝර  වැනි දේ තිබූ බවට මේ වන විට දැක ගත හැක්කේ ඡායා සංකේත පමණකි. කෙටියෙන්ම ප්‍රකාශ කළහොත්  මේ ගල්පර්වතයේ මුදුනේ තිබුණු බව පැවසෙන  පාද ලාංඡන ශිලාවද මේ වන විට මැකී යන තරමට කාලය ගතව ඇත.

වර්ෂ 1963 වසරේදී පමණ මේ ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු පුරා විද්‍යා ගවේෂකයින් පිරිසක් එම පාද ලාංඡන ශිලාව පිළිබඳව තොරතුරු ඉදිරිපත් කොට ඇතත් 1973 දී මේ ස්ථානයට වැඩම කළ එල්ලාවල මේධානන්ද හිමියන් හා 1975 දී මේ ස්ථානයට ගිය තවත් පුරා විද්‍යා ගවේශකයෙකු වූ පී.වීරසිංහයන්   පවසන්නේ එම කාලවකවානුව වන විට ද පාද ලාංඡන ශිලාව හොඳින් දක්නට නොලැබුනු බවයි.(නාගයන්ගේ පා සටහන්-පී.වීරසිංහ)

පර්වතයේ කැඩී ගිය පුරාවස්තු  

වඩ්ඩමාන පබ්බත විහාරය පිහිටි  මහා පර්වතයේ ඇවිද යන විට කැළෑබද ප්‍රදේශවල තැනින් තැන කැටයම් හා අකුරු කොටස් ඇති ගල් කැබලි දැකිය හැකිය. ඒවා  පුරාවස්තුවලින් කැඩී ගොස් ඇති කැබලිය. ඇතැම් ගල් කැබලිවලින් ලිප් බැඳ තිබූ බවට සාධක ඇත. මේ පිළිබඳව විමසූ විට පළාතේ වයෝවෘද්ධ අයෙකු පැවසුවේ කොටි ත්‍රස්තවාදීන් බොහෝ කාලයක් ආරක්ෂාව සපයා ගනිමින් මේ ගල් ලෙන් වල ජීවත් වූ බවය. එහෙත් ඔවුන් මේ ස්ථානයට බරපතල හානි කර නොතිබිනි.

මේ විහාරස්ථානය සතුව මහා පර්වතයෙහි විශාල ස්තූප දෙකක් 1975 වසර වන විට පවා තිබී ඇත. ඒ වන විට එම ස්තූප ගරාවැටුණු තත්ත්වයක පැවතියද  එක් ස්තූපයක් අඩි 11 ක් උස වට අඩි 46 ක් වූ බවත් දෙවැන්න උස අඩි 6 ක් හා වට අඩි 21 කින් සමන්විතව තිබූ බවත් එල්ලාවල මේධානන්ද හිමියෝ සිය  ග්‍රන්ථයේ සදහන් කරති.   නෙඩුන්කේණියේ වයෝවෘද්ධ වැසියෝ  දිග පළල ගැන සඳහන් නොකළත් දාගැබ් දෙකක් තිබූ බව ප්‍රකාශ කරයි. නමුත් මේ දාගැබ් මේ වන විට පුරාවස්තු සංහාරකයින් විසින්  විනාශයට පත් කොට තිබේ.

සිංහල ජනාවාස

නෙඩුන්කේණියේ වෙසෙන පැරණි වැසියන් පවසන්නේ 1957 පමණ වන තුරු  මේ පළාතේ සිංහල ජනතාව වාසය කළ බවයි. 1958 වසරේ ඇතිවූ කෝලාහලයත් සමග ඔවුන් ක්‍රමක්‍රමයෙන් දකුණට ඇදී ගොස් තිබේ. එවකට  වාසය කළ සිංහල බෞද්ධ වැසියන් නිසා  වඩ්ඩමාන පබ්බත විහාරයට ආරක්ෂාවත් එහි සිටි භික්ෂූන් වහන්සේලාටත් සිව්පසය ලැබී තිබේ. ජනතාව ක්‍රමයෙන් එම පළාතෙන් ඉවත් වන විට වවුනියාව දිස්ත්‍රික්කය පරිපාලනයේ පහසුව පිණිස  1978 දී  මුලතිව් වශයෙන් කොටසකට කැඩී යාමත් නිසා භූමියේ සිංහල ජනාවාස මුළුමනින්ම ඉවත් වී ඇත.

මේ ස්ථානයේ ඓතිහාසික පුවත් අනුව විමසා බලන විට  නාගගෝත්‍රිකයින්ද සියවස් ගණනාවකට පෙර වාසය කොට ඇත. යාපනය විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබදව මහාචාර්ය එන්.පුෂ්පරත්නම්   මේ බව පවසන නමුත් එය සනාථ කළ හැකි සාධකයන්  වඩ්ඩමාන  පබ්බත විහාරයෙන් හමු වූ නටබුන්වල සඳහන් නොවන්නේ එම සාධකවලට අයත් පුරාවස්තු විනාශ වීම නිසා විය හැකිය.

වඩ්ඪමාන විහාරය ආදි ලිංගේස්වර කෝවිල වීම

හින්දු දේව සංකේත තබා ඇති අයුරු

මෙම බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානය අද වන විට මුළු ප්‍රදේශයේම ජනතාව විසින් හඳුන්වනු ලබන්නේ වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙන් බව අපි ඉහතදී සදහන් කළෙමු. දැන් එය එසේ සිදුවන්නට හේතු කාරණා විමසා බැලීම අනිවාර්යෙන්ම කළ යුතුය.

වැඩික්කිනාරිමලේ යනු දෙමළ වචනයකි. අප වඩ්ඩමාන පර්වත විහාරය යනුවෙන් හඳුන්වන ස්ථානයම ඔවුන් වැඩික්කිනාරිමලේ යනුවෙන් හඳුන්වයි. හරියටම මෙය අප නාගදීපය යනුවෙන් ව්‍යවහාර කරද්දී දෙමළ ජනතාව නයිනාතීව් ලෙස  ආමන්ත්‍රණය කිරීමක් වැන්න.

වැඩික්කිරිනාරිමලේ උච්චාරණයේ පහසුව  පිණිස වෙඩුක්කුනාරී වී ඇත්තේ මෑත කාලයේදීය. එවැනි  ග්‍රාම නාමයක් ඉතිහාසයේ හෝ පර්වත නාමයක් කිසිදු තැනක සඳහන් නොවේ.

කෙසේ වෙතත් වෙඩුක්කුනාරී  නාමය ඔවුන් ව්‍යවහාර කරණු ලබන්නේ මහා පර්වතයටය. කෝවිල ආදී ලිංගේස්වර කෝවිල නමින් භාවිත කරයි.

නෙඩුන්කේණී ප්‍රදේශයේ පදිංචිව සිටි සිංහල බෞද්ධයින් පිරිස එම පළාතෙන් පිටවීමත් සමගම 1977 වසර වන විට උතුරේ දෙමළ සිංහල කලකෝලාහලයක මූලික අවස්ථාව ආරම්භ වීමත් සමගම රජයේ නිලධාරීන්ගේ මෙන්ම පුරා විද්‍යා නිලධාරීන්ගේ අවධානය මේ ස්ථානයට කිසිසේත්ම ලැබී නොමැත.

කෙමෙන් කෙමෙන් යුද්ධය දරුණු වීමත් සමගම නෙඩුන්කේණියේ දෙමළ වැසියෝද මේ පළාතට යාම නතර කළහ.  ඔවුන්ද සිය ගම්බිම් අත්හැර දමා වන්නිය දෙසට පලා ගියහ.

වසර තිස් ගණනක් පැවති මහා යුද්ධය අවසන් වී දෙමළ ජනතාව ඔවුන්ගේ ගම්මානවල යළි පදිංචි කරන විට නෙඩුන්කේණී වැසියන්ට සිය ගම් බිම්වලට ආපසු පැමිණීමට හැකි වූයේ 2014 දී පමණය. ඔවුන් සිය ඉඩම් සුද්ද පවිත්‍ර කරමින් ජනාවාස ඉදි කරගෙන සිටියදී ඔවුන්ගේ භාෂාවෙන් හඳුන්වන වෙඩුක්කුනාරී පර්වතයට යාමට ඒමටද පටන් ගෙන තිබේ.

එහි වූ කටාරම් සහිත ගල් ලෙන් ඔවුන්ට මහා විමතියක් ගෙන දෙන්නක් විය. ඔවුන් කළේ ඒ ස්ථානය වන්දනාමාන කිරීමය. මුලින්ම කිසිදු දේවරූපයක් හෝ ප්‍රතිමාවක්  නොතබා එහි වූ ආසන ඝරයක් මත මල් පූජා කළහ.

මේ අවස්ථාවේදී කලබල වූ පුරා විද්‍යා නිලධාරීන් වහාම මේ ස්ථානයේ අයිතිය ගැන තහවුරු කරමින් නෙඩුන්කේණී පොලීසියේ පැමිණිල්ලක් ගොණු කළේය. පොලීසිය ඒ සමබන්ධයෙන් කටයුතු කොට අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් තොරතුරු ඉදිරිපත් කළේ 2018 වසරේදීය. වෙඩුක්කුනාරී හින්දු පුදබිමකට සිංහලයින් අයිතිවාසිකම් කියන බව හුවා දක්වමින් ගෝත්‍රික ජාතිවාදී දේශපාලනඥයින් පිරිසක් මේ ස්ථානයේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණ කළහ. අවසානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද නිර්දේශයන් මත  බෞද්ධ නටබුන් පිහිටි ස්ථානයට මීටර් 500 ක් දුරින් කෝවිලක් ඉදි කර ගැනීම සඳහා හින්දූන්ට අවස්ථාව ලැබුණි.

පුරාණ ලෙන් භූමිය කෝවිලක් බවට පරිවර්තනය කරගෙන ඇති අයුරු…

නමුත් මෙහිදී පැනනගින ප්‍රශ්න රාශියක්ම තිබේ. ඉන් එකක් වන්නේ හින්දු දහම තුළ කටාරම් කෙටූ ගල්ලෙන් මෙතක් දක්නට නොමැති වීමය. දෙවැන්න වන්නේ බෞද්ධ සාම්ප්‍රදායට අනුව ඉදි කෙරෙන ස්තූප ඉදිකිරීමක්ද ඒ දහම තුළ දක්නට නොමැති වීමය. කෝවිල් සංස්කෘතිය තුළ ශ්‍රී පතුල් නොමැත. ආසනඝර නැත. ශිලා ලේඛන ඇත්තේ ඉතාම අල්පයකි.

අනෙක් කාරණය වන්නේ කටාරම් ලිපි වල සඳහන් නාමයන් එකක් හෝ දෙමළ ජාතිකයින්ගේ නම් නොවේ. ලියවී ඇති අක්ෂර බ්‍රාහ්මීය අක්ෂරයන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කාරණා ගැන සලකා බලන විට  වැඩික්කිනාරිමලේ හෙවත් දෙමළ ජනයා හඳුන්වන වෙඩුක්කුනාරී පර්වතය හා ඒ අවට පුරාවස්තු හින්දු දහමට අයත් ඒවා නොවන බව ඉතාම පැහැදිලිය. එනම් මේ ස්ථානය වඩ්ඪමාන පබ්බත විහාරය වෙයි. කාගේ හෝ අතපසු විමකින් හා නොසැලකිල්ලෙන් සිදුව ඇති හානිය ඉතා විශාලය. මෑත අතීතයේදී වූ මෙම වරද නිවැරදි කරවා ගෙන නෙඩුන්කේණියේ වඩ්ඪමාන පර්වත විහාරය ඒ නමින් සුරැකීමේ කාලට එළඹ ඇත.

 

 

 

 

 

 

 

 

Exit mobile version