පුරාවිද්‍යා හාල්පාරුවන් අවුරුදු 1270ක් පැරණි අත්තනගලු පාරුව වැනසුව හැටි විගණනය හෙළි කරයි…

Was it used for the higher ordination of Buddhist monks?

ජාතියට අහිමි වූ අවුරුදු 1270ක් පැරණි අමිල ජාතික උරුමය... අත්තනගලු පාරුව....

ලලිත් චාමින්ද  –

දැනට ලංකාවේ ගංගාවන් ආශ්‍රිතව හමුවී ඇති පැරැණිතම යාත්‍රාව වන්නේ කැලණි ඔරුවය. කැලණි ඔරුව හමුවී ඇත්තේ ක්‍රිස්‌තු වර්ෂ තුන්වන සියවසේදීය. ඒ කැලණි ගංගාවෙනි. එම යාත්‍රාව ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත්තේය. 

අත්තනගලු ඔයෙන් හමුවී ඇති අත්තනගලු පාරුව  ක්‍රිස්‌තු වර්ෂ හත්වන සියවසට අයත්ය. එනම් දල වශයෙන් අවුරුදු  එක්දහස් දෙසිය හැත්තෑවක් පැරණිය.  රත්නපුරයෙන්ද ඉපැරැණි ඔරුවක්‌ හමුවී ඇති අතර මේ අයුරින් පාරම්පරික යාත්‍රාවන් ගණනාවක්‌ම ලංකාවේ ගංගා ආශ්‍රිතව හමුවී තිබේ.

කෙසේවුවද මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල නිසාවෙන් අත්තනගලු ඔයෙන් හමුවි  ඇති පාරුව සම්පුර්ණයෙන්ම විනාශයට පත් වී ඇත්තේය. 

අත්තනගලු පාරුව අත්තනගල්ල ඔයෙන් හමුවි ඇත්තේ 1998 වර්ෂයේ දිය. වැලිගොඩ දමමින් සිටි පිරිසකට මෙම පාරුවේ කොටස් හමුවි ඇති බවට සඳහන් වේ. එවකට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ඉල්ලිමකට අනුව   අත්තනගල්ල ඔයෙන් හමුවු මෙම පාරුව  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රැගෙනවිත් කොළඹ ජාතික කෞතුකාගාරයේ ජල ටැංකියක ලී කුඩු දමා තැන්පත්කොට තිබුණි. 


අත්තනගල්ල පාරුව දිගින් අඩි 59යි අගල් 11කි. පළල අඩි 04කි. කාලනිර්නය අනුව මෙකි පාරුව  වසර 1270ක්  පැරණිය.

Attanagalu-Paruwa
අත්තනගලු පාරුව 1998 දී කෞතුකාගාරයට ගෙනා අවස්ථාව…

පාරුව සංරක්ෂණයට ගෙනා රසායන ද්‍රව්‍ය වෙනත් වැඩවලට…

පාරුව සංරක්ෂණය කිරීමේ කාර්යභාර්ය  පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත පැවරි තිබුණි. සංරක්ෂණ කටයුතු සදහා රුපියල් මිලියන 04ක පමණ මුදලක් වැයකොට  පොලිඑතිලින්  සහ  ග්ලයිකෝල්  නැමති රාසායන ද්‍රව්‍යයද මිලදී ගනු ලැබිය. ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2001 වර්ෂය  දක්වාම එම රසායන  ද්‍රව්‍ය   භාවිතාකොට  මෙම  පාරුව සංරක්ෂණය කොට නොතිබු බවය. 

එම රසායන ද්‍රව්‍ය වෙනත් කාර්යයන්  දෙකකට භාවිතාකොට තිබුණි. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ  රසායන සංරක්ෂණ  අංශය මගින් වෙනත් ක්‍රමවේදයකට මෙම පාරුව සංරක්ෂණය කිරීමට පියවරගෙන තිබුණි. විගණනය කීවේ වියලි ක්‍රමය යටතේ  පාරුව සංරක්ෂණය කිරීමේ කටයුතු සිදුකරණු ලැබ ඇති බවය. 

සංරක්ෂණ කටයුතු සිදුකිරීමෙන් පසු  පාරුව ප්‍රදර්ශනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මගින්  දැනුම් දි තිබුණි. එහෙත්  මෙම පාරුවේ සංරක්ෂණ කටයුතු අවසන් විමෙන් පසු නියමිත අයුරින් ප්‍රදර්ශනයට  තැබීමට පියවරගෙන නොතිබුණි.

පාරුව ඔසවා ස්ථානගත කළ හැටි – 1998

2019 දි පාරුව විනාස වීම ඇරඹිලා..

හොර ශාඛයේ  ලී දඬු යොදාගෙන අත්තන්නගල්ල පාරුව නිර්මාණය කොට තිබු  අතර  2019 වර්ෂය අවසානය වනවිට  පාරුවේ කොටස් විශාල ප්‍රමාණයක් දැඩිලෙස දිරාපත් වී පුළුන් ගොඩක් බවට පත්ව තිබුණි. මේ සඳහා ස්වාභාවික හානි ද හේතුවි තිබු බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්  විගණනයට සඳහන් කොට ඇත. මේ සඳහා ගතයුතු  ක්‍රියාමාර්ග පිළිබද  සංරක්ණ අංශයට උපදෙස් ලබාදීම සදහා මහාචාර්යවරු සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් 2019 වර්ෂයේ දී පත්කිරීමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මගින්  කටයුතු කරනු ලැබීය.

2019 වර්ෂයෙන් පසුවද මෙම පාරුව සංරක්ෂණය කිරීම     ආරම්භ කරණු ලැබීය. නයිලොන් ගොසම් යොදාගෙන සංරක්ෂණ කටයුතු  ආරම්භ කිරීමට සැලසුම් කරණු ලැබීය. ඒ සදහා අවශ්‍ය අමුද්‍රව්‍යය ද මිලදිගනු ලැබිය.  මෙවා ඇලවීම සඳහා යොදාගනු ලබන රාසායනික ද්‍රව්‍ය ඉතා මිල අධික වීම  නිසා නයිලොන් ගොසම් පාරුවේ කැබලි ඇලවිමේ දි දරාගැනිමට නොහැකිවිම නිසා එම සංරක්ෂණ කටයුතුද  ලත් තැනම ලොප්විය.  

පාරුව ප්‍රතිනිර්මාණයට උපදෙස් 

කෙසේවුවද කමිටුවේ තීරණය වුයේ මෙය අපහරණය නොකළයුතු අතර නැවත  පාරුව ප්‍රති නිර්මාණය කිරීමට  කටයුතු කළයුතු බවය. දැනට පාරුවේ දිරා නොගිය කොටස් උපයෝගි කරගෙන අනුරුවක් අයුරින්  යලි මෙම පාරුව ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු ආරම්භකොට ඇති බව පුරාවිද්‍යා දේපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය සඳහන් කරන්නේය.  

එම අංශය සඳහන් කරන අකාරයට මෙකී පාරුවේ සංරක්ෂණ කටයුතු සඳහා ගෙනවිත් තිබු රාසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධව පලපුරුද්දක්ද  සංරක්ෂණ නිලධාරින්ට නොතිබුණි. මෙම  රාසායනික ද්‍රව්‍ය ලෝකයේ වෙනත් රටවල කේතුධර ශාක සදහා භාවිතාකොට තිබුණි. පාරුව හොර ලි වලින්  සකස්කොට තිබු අතර මේ නිසා  මෙම රාසායන ද්‍රව්‍ය හොර ලි සදහා භාවිතයට ගන්නා ආකාරය පිළිබද අන්තර්ජාතික වශයෙන්ද දත්ත  නොතිබුණි.

2001න් පසු වියලි සංරක්ෂණයෙන් පසු ප්‍රදර්ශනයට තබා තිබුණු පාරුව …. අවරුදු 1270ක් පැරණි ඒ ජාතික උරුමය අද ජාතියට අහිමිය…

කෙසේවුවද මේ පිළිබද  විගණනය මගින් ප්‍රකාශකොට  ඇත්තේ  සංරක්ෂණ ක්‍රමවේදය හා  කාර්යය නියමිත කාලරාමුව තුළ යෝග්‍ය පරිදි සිදුනොකිරිම නිසා 2021 වර්ෂය අවසානය වනවිට  පාරුවේ දැව කොටස්  සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවය.

පාරුව මුළුමනින්ම විනාශයි…

පාරුවේ විනාශයේ තරම කෙතරම් ද කිවහොත් එය කුඩා දැව කොටස්  දක්වා විනාශවි තිබුණි. කෙසේවුවද  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෙම පාරුවේ විනාශවී ඇති දැවමය කොටස්  තැබීමට ආධාරකයක් සකස් කිරීම සඳහා  රුපියල් 1,770,876ක මුදලක් වැයකොට තිබුණි. 

එහෙත් පාරුවේ දිරාපත් වු දැව කොටස්  සංරක්ෂණ සිමාව ඉක්මවා තිබීම නිසා  එහි අනුරුවක් සකස් කිරීමට  යලි පුරාවිද්‍යා දේපාර්තමේන්තුව වෙත ගෙනවිත් තිබුණි. ඒ අනුව බලන විට මෙම පාරුවේ දැවමය කොටස් තැබීම සදහා රුපියල් දාහත් ලක්ෂයකට අධික මුදලක් වැයකොට යකඩ ආධාරයක් ඉදිකළද එය නිෂ්කාර්ය වියදමක් වි තිබුණි.

පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ  මුලික කාර්යභාරය  පුරාවිද්‍යාත්මක ස්ථාන  පුරාවස්තු පිළිබඳ ගවේෂණය කිරීම  කැණිම් කටයුතු කිරීම හා සංරක්ෂණය කිරිමය. එහෙත් විගණනය මගින් ලබා දී ඇති නිර්දේශය වන්නේ සංරක්ෂණ කාර්යයන් නිසි පරිදි ඉටුනොකිරිම නිසා  මෙම පුරාවස්තුව හානිවි විනාශ වි ඇති බවය.

විගණනය නොවන ජාතික උරුමය සහ ජාතික උරුම සංහාරය

විගණනය මගින් පෙන්වා දෙන්නේ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනාගාරය තුළ 1950 වර්ෂයේ පමණ  සිට  කැණිම් හා සංරක්ෂණ අංශ මගින් සොයාගත්  පුරාවස්තු විශාල ප්‍රමාණයක්   තිබෙන බවය. ඇතැම් පුරාවස්තු සංරක්ෂණය කිරීමට කටයුතු කර නොතිබුණි. 

ඒ විතරක් නොව අතිතයේ සිට විධිමත්ව සකස්කළ පුරාවස්තු පිළිබඳ ලේඛනයක්ද  නොතිබුණි. 2020 හා 2021 වර්ෂවල  පුරාවස්තු ලේඛනගත කිරිම ආරම්භ කළද  වාර්තමානය වනවිට පුරාවස්තු විශාල ප්‍රමාණයක්  ලේඛනගත කිරීමකින් තොරව ආනාරක්ෂිත පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.  

කෙසේ වෙතත් ඓතිහාසික වැදගත්කමකින් යුතු    අත්තනගල්ල පාරුව රැක ගැනිමට  පුරාවිද්‍යා බලධාරින්ට නොහැකිවි තිබුණි.   පාරුව අත්තනගල්ල ඔයෙන් ගොඩගෙන රැගෙනවිත්  තැන්පත් කිරීම සදහාත් විශාල මුදලක් වැයවන්නට ඇත.  එමෙන්ම    මෙය පාරුවක් ද ඔරුවක් ද  නැතිනම්  උපසම්පදා විනයකර්මවලදි මණ්ඩපය ඉදිකිරීම සදහා යොදාගනු ලැබු ලි දඩුද යන්න  පිළිබඳ විවිධ මතවාද පැවතිනි. 

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මෙම පාරුව ගැන කියන්නේ මෙවැනි කථාවකි.

“ මාගේ කාලය තුල තමයි මෙම පාරුව  ජාතික කෞතුකාගාරයට රැගෙනවිත්  තිබුණේ. මේ පිළිබද විවිධ මත තියෙනවා. අත්තනගල්ල විහාරස්ථානයේ පහලින් තමයි මෙම පාරුව හමුවෙන්නේ.   භික්ෂුන්වන්සේලා උපසම්පදා  විනයකර්ම කිරිමේ දි   මණ්ඩපයක්  හැදිම සදහා  භාවිතාකරපු  ලි දඩුකියලා තමයි විශ්වාස කරන්නේ.     ක්‍ස්තු .වර්ෂ 08 වැනි ශතවර්ෂයේ දි අනුරාධපුර අග කාලය වනවිට  අත්තනගල්ල රජමහා විහාරස්ථානය  උපසම්පදා විනයකර්මය සිදුකරණ වැදගත් විහාරස්ථානයක් බවට පත්වෙලා   තිබුණා.  ආචාර්ය සිරිනිමල් ලද්දුසිංහ මහතා සදහන් කළේය.

කුමන මතවාද පැවතියද මේ  වසර 1270ක් පැරණි ජාතික උරුමය දැන් ජාතියට අහිමිය. වරද කොතැන ද?. මේ සම්බන්ධව නිසි ඇගයීමක් කර මේ උරුම සංහාරකයින්ට දඬුවමක් නොදෙන්නේ ද?.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුරාවස්තු අපරාධකරුවන් පුරවිද්‍යා දෙපාරත්මේන්තුව තුළත් කෞතුකාගාර දෙපාර්තමේන්තුව තුළත් සිටින බව විගණනයත් කියන්නේය. අපට අසන්නට ඇත්තේ මොවුන්ට නඩු නැති ද යන්න පමණි.

 

Exit mobile version