දළඳාව බොරුවක් කියන  අයට ජාත්‍යන්තර උත්තරයක් !

ආචාර්ය ධර්මරත්න හේරත් ගේ    TOOTH RELIC of THE BUDDHA  - A Relic in Sri Lankan Politics c300-2000   එළි දකී

සංවාද සටහන – චාමින්ද වාරියගොඩ –

මහනුවර වැඩ සිටින ශ්‍රි දළඳා වහන්සේ  සම්බන්ධයෙන් අපහාසාත්මක වෛරී සහ  සාවද්‍ය ප්‍රකාශ නිකුත් වන්නේ අද ඊයේ  නොව සියවස් ගණනාවක සිට බවත් ඊට පිළිතුරු දෙන්නට තමන් දළඳා වහන්සේ ගේ පැවැත්ම පිළිබඳව ලෝක අවධානයට ලක් කිරීම සඳහා ග්‍රන්ථයක් රචනා කළ බවත් ආචාර්ය ධර්මරත්න හේරත් පවසයි. මේ පිළිබඳව  ඉතා තියුණු හැදෑරීමකින් අනතුරුව  TOOTH RELIC of THE BUDDHA  – A Relic in Sri Lankan Politics c300-2000   නම් ග්‍රන්ථය රචනා කළ ආචාර්ය ධර්මරත්න හේරත් පසුගියදා අරලියගහ මන්දිරයේ පවත්වන චාම් උත්සවයකදී අගමැතිවරයාට එය පිළිගන්වමින්  මෙම වටිනා ග්‍රන්ථය ලෝකයට එළිදැක්වීය.

ඔහු ගේ මෙම ප්‍රයත්නය පිළිබඳව ලංකාසර සමඟ කළ කෙටි පිළිසඳරක් මෙසේ පළවෙයි.

ලංකාසර – පොත ගැන කතා කරන්න කලින් එය ලිව්ව ඔබ කවුද කියා කිව්වොත්?

පිලිතුර – මම ආචාර්ය ධර්මරත්න හේරත්. මහනුවර ඉපිදී හැදී වැඩුනු මම විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් මූලික ගෞරව උපාධිය අරගෙන 1967 දී එම විශ්ව විද්‍යාලයයේ ඉතිහාස අංශයේ කථිකාචාර්යවරයකු ලෙස එක් වුණා. ඊට පසුව 1970 දී ලන්ඩනයේ විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධිය හදාරා මම ශ්‍රි ලංකාවට එනවා. ඇවිත් යළිත් ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ කථිකාචාර්ය රැකියාවට සම්බන්ධ වෙනවා.

1974 දී එයට සම්බන්ධ වුණු මම එම විශ්ව විද්‍යාලයයේ සෞන්දර්ය අධ්‍යයනය අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කළා. ඒ වගේම ශ්‍රි පාලි මණ්ඩපය ආරම්භ කිරීමටත් පුරෝගාමී කාර්යය කළේ මමයි. කෙසේ වුණත් වසර හතරකින් පමණ මම විශ්ව විද්‍යාල ආචාර්ය ධුරයට සමුදී ඊට වඩා වෙනස්ම ක්ෂේත්‍රයක් වුණු ශ්‍රි ලංකන් ගුවන් සේවයේ රැකියාවක් තෝරා ගන්නවා. විශ්ව විද්‍යාල ආචාර්ය ජීවිතයේ ගතකළ වසර හතර ඇරුණාම මගේ සමස්ත ජීවිතය ගත කළේ ශ්‍රි ලංකන් ,   එවකට එයාර් ලංකා සමාගමත් සමග. මේ කාලය තුළ මම 1994 වසරේ දී රජයේ ඉල්ලීම මත සතොස ආයතනයේ සභාපතිවරයා ලෙස පත් වුණා. නමුත් ටික කලකින් එම සභාපතිතම අතහැර යළිත් ශ්‍රි ලංකන් ගුවන් සේවයට එක්වුණා.


අවසානයේ එම ගුවන් සේවයේ ආසියානු කලාපය භාර ප්‍රධානියා ලෙස තමයි   විශ්‍රාම යන විටත් වැඩ කළේ.

මම ලන්ඩනයේ ආචාර්ය උපාධිය සඳහා සකස් කළ නිබන්ධනය වුණේ මහනුවර ශ්‍රි දළඳා මාලිගාව සම්බන්ධයෙන් අධ්‍යයනයක්. මෙම අධ්‍යයනයෙන් පසුව මම ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශයට පත් කළා.

මෙය මගේ දෙවැනි ඉතිහාස ග්‍රන්ථය.

ලංකාසර – ඉතිහාස අධ්‍ය්‍යන අංශය වගේ තැනක කථිකාචාර්ය කෙනෙක් එකපාරටම ගුවන් සේවය වැනි සමාගමක් තෝරා ගැනීමත් හරි විරල අවස්ථාවක්?

ආචාර්ය ධර්මරත්න හේරත් ගේ    TOOTH RELIC of THE BUDDHA  – A Relic in Sri Lankan Politics c300-2000  කෘතිය…

පිළිතුර – ඔව්. මම වෙන්න ඇති මේ විදිහට විශ්ව විද්‍යාල ආචාර්ය තනතුරක් අරන් එය මේ විදිහට අතහැර ගිය එකම පුද්ගලයා. නමුත් මම මේ තීරණය ගත්තේ ඒ කාලේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට රජය සැලකූ ආකාරය දැකලා.   ඔවුන්ට ගෙව්වේ සොච්චම් වැටුපක්. විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ඉතා කැපවීමෙන් සිය උපාධි පාඨමාලා හදරලා සිසුන් වෙනුවෙන් කරන කැපවීමට සරිලන ප්‍රතිලාභයක් එදා ලැබුණේ නෑ. එය මා කලකිරීමකට පෙලඹවූ එක් කරුණක්. අනෙක තමයි අපි කොච්චර මහන්සි වෙලා ඉගැන්වුවත් සිසුන් තුළ ඊට සාපේක්ෂව හොඳ ප්‍රගතියක් තිබුණේ නෑ. ඔවුන්ට අධ්‍යයනවල කිසිදු අවශ්‍යතාවක් තිබුණෙ නෑ. ඔවුන්ගේ දියුණුවට අප කෙතරම් කැපවුණ් හි ප්‍රතිලාභය ඔවුන් ලබා නොගැනීම  මට සරසවි ඇදුරුකම අතහැරීම  එක් හේතුවක්.

ලංකාසර – දළදා වහන්සේ ගැන පොතක් ලියන්න පෙලඹුණු හේතුවක් තිබෙනවාද?

පිළිතුර – අපි දැක්කේ පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල ගිය කතාවක් නිසා දළදාව පිළිබඳව කෙතරම් කතා බහක් ඇති වුණාද කියල. ඔය කතා බහ වරින් වර මතුවෙන යට යන එකක්. එය ආදි කාලයේ සිටම පැවතුණා. මේ තත්ත්වයට බලපාන යම් යම් කාරණා තිබෙනවා. විශේෂයෙන් ශ්‍රි දළදා වහන්සේ ශ්‍රි ලංකාවට වැඩම කළ දා සිටම එය සහ රටේ දේශපාලන  කෙන්ද්‍රය අතර දැඩි සබඳතාවක් ගොඩ නැගුණා. බොහෝ රජවරුන් විශ්වාස කළේ දළඳා වහන්සේ උරුම කර ගැනීම රාජ්‍යත්වය තහවුරු කර ගැනීමේ සංකේතයක් ලෙසයි. ඒ අනුව රජවරු ක්‍රියා කළා. පරසතුරු  ආක්‍රමණ දුෂ්කර කාලවකවානුවල දී දළඳා වහන්සේ සගවා තැබීමට පවා විවිධ උපක්‍රම භාවිත කළා. මගේ උපාධි විෂය පථය මෙය නිසා මේ මේ පිළිබඳව හැදෑරීමක් කළා.

නමුත් මේ ග්‍රන්ථය ලිවීම සඳහා බලපෑ ආසන්නම හෙතුව මෑත කාලීන ව එනම් 2020 දශකයේදී ඇමෙරිකානු විද්වතකු විසින් ලියා පළ කරන ලද දළඳා වහන්සේ සම්බන්ධ කෘතියක්. එය දළඳා වහන්සේ මිත්‍යාවක් බව සමාජගත කරන්නට වැරදි තොරතුරු රැසක් ඒකරාශී කර ලියන ලද ග්‍රන්ථයක්. හුදෙක් ඉංග්‍රිසි භාෂාවෙන් ලියන ලද  ශ්‍රාස්ත්‍රිය පොතක් සේ පෙනුණත් එය තුළ ඔහු වුවමනාවෙන්ම දළඳා වහන්සේ යනු නොපවතින ව්‍යාජ එකක්  බවට තහවුරු කිරීමේ අසාර්ථක උත්සාහයක් ගෙන තිබුණා.

ආචාර්ය උපාධිය සඳහා දළඳා වහන්සේ සම්න්ධයෙන් රජ කාලයේ පටන් ලියවුනු දේවල් ආශ්‍රිත තොරතුරු  පරිශීලනය කර තිබු මට මෙය මහත් වේදනාවක් වුණා. ඒ නිසා මම හිතුවා මෙයට පිළිතුරු දෙන ශාස්ත්‍රීය කරුණු රැසක් තහවුරු කරන ග්‍රන්ථයක් සම්පාදනය කළ යුතුයි කියල. ඒ අනුවයි මෙම පොත් රචනා වෙන්නේ.

ආචාර්ය ධර්මරත්න හේරත්…

ලංකාසර – ඔහු කවුද ලිව්වේ මොනවද ?

පිළිතුර – ඇත්තටම මේ පොතට අනවශ්‍ය ප්‍රසිද්ධියක්  ලබා දෙන්න මම කැමති නෑ. මෙය ලියවුණේ 2021 වසරේ.  ඇමෙරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාල මුද්‍රණාලයෙන් තමයි මෙය ප්‍රකාශයට පත්කළේ . එය ලිවීමට පාදක කරගෙන තිබෙන්නේ  විශේෂයෙන් බටහිර ආක්‍රමණිකයන් ශ්‍රි ලංකාව් දන්ත ධාතූන් වහන්සේ හේතුවෙන් තිබුණු අභියෝගය සමනය කර ගැනීමට විවිධ කාලවලදී ලියන ලද බොරු සාවද්‍ය වාර්තායි.

ලංකාසර – ඒ කියන්නේ එදා ඉඳන්ම දළඳා වහන්සේ සම්බන්ධයෙන් විවිධ මතවාද පැතිර තිබෙනවා?

පිළිතුර – ඔව්.අපි දැක්කනේ පසුගිය දවස්වලත් සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය කතාව. ඒ වගේම දේවල් ඉතිහාසය පුරාවටත් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන් බටහිර ජාතීන් ශ්‍රි ලංකාවට ආවට පස්සේ ඔවුන් අමුතු උනන්දුවක් මේ පිළිබඳව දක්වා තිබෙනවා. එහිදී ඇතැමුන් සත්‍ය කරුණු වගේම  සමහරුන් අසත්‍ය කරුණු ඉස්මතු කිරීමත්ට උත්සාහ කළා. එයට ප්‍රධාන හේතුව දළඳා වහන්සේ සෙසු ආගමික සංකේත සමඟ සාපෙක්ෂව සැසඳිමේදී දී ශ්‍රි ලංකාවෙ රාජ්‍යත්වයට දක්වන දැඩි සම්බන්ධතාවයි. දළා වහන්සේ සිය පාලනයට උරුමයට නොගන්නා අයකු ශ්‍රි ලංකාවේ රජ ලෙස පිළිනොගන්නා සමාජ සම්මතය මේ සඳහා බලපෑවා කියල හිතන්න පුළුවන්.

ලංකාසර – විශේෂයෙන් කවුද මෙවැනි බොරු කතා ගොතපු අය.?

පිළිතුර – මම උදහරණ කිහිපයක් කියන්නම්. පෘතුගීසි යටත් විජිත සමයේ ද කූටෝ කියල පෘතුගීසි ජාතික ලේඛකයෙක් දළඳාව පිළිබදව ව්‍යාජ මතයක් ස්ථාපනය කරන්න උත්සාහ කළා. ඔහු කීවේ පෘතුගීසීන් දළඳාව ඉන්දියාවට රැගෙන ගොස් පුළුස්සා දැමුවා කියල. දැන් තිබෙන්නේ ව්‍යාජ එකක් බව පෙන්වන්නට ඔහු කතාවක් හදනවා. ඒ තමයි මේ දළඳා වහන්සේ තිබුණේ වීදිය බණ්ඩාර ළඟ, ඔහු මැරෙනකොට  ඔහු ළඟ පැවති දළඳා වහන්සේ යාපනයේ පාලකයා අතට පත්ව පෘතුගීසි යාපනය අල්ල ගත්තට පස්සේ 1560 දී පෘතුගීසීන් මෙය රැගෙන ගිය බවයි, ඔහු සඳහන් කර තිබෙන්නේ.  නමුත් ඒ වනවිට දළඳා වහන්සේ ආරක්ෂා කර තිබුණේ සීතාවක. දෙල්ගමුව රජමහ විහාරයේ.. මේ කතාව වහන්න ද කූටෝ වෙනත් කතාවක් ලියනවා. ඒ තමයි සීතාවක රාජසිංහ තම පියා ඝාතනය කළා. ඒ පාපයෙන් ගැලවෙන්න  බැරි නිසා ඔහු හින්දු ආගම වැළඳගෙන වෙහෙර විහාරස්ථානවලට හානි කළා කියන කතාව. නමුත් ඇත්ත කතාව සීතාවක රාජසිංහ තම පියා වන මායාදුන්නේ ඝාතනය කළේ නෑ. එය අප සෙයා බැලූ තොරතුරුවලින් අනාවරණය වෙලා තිබෙනවා. ඔහු 1521 සිට 1561 වන තෙක් රජකම් කළා. මේ කාලයේ තමයි සීතාවක රජසිංහ යුද්ධ කළේ. ඔහු රජ වෙන්න් 1581දී. ඔවුන්ට ඕන වුණේ දළඳාව ව්‍යාජ එකක් ව පවසා වැරදි මතයක් ගොඩ නගා රටේ දේශපාලන බලය තහවුරු කිරීම. ඇත්තටම රාජසිංහ රජු දළඳා වහන්සේ  වෙනුවෙන් සීතාවක පෙරහැර 10කට වඩා  පවත්වලා තිබෙනවා. ඔහු ගම් 12ක් පූජා කරල තිබෙනවා.

ඔවුන්ට පෘතුගීසීන්ට දළඳාව සම්බන්ධයේ වැරදි මතයක් ස්ථාපනය කිරීමට හේතු වන තවත් කරුණක් තිබෙනවා.

මහනුවර රජු පළමු විමලධර්මසූරිය සිටින කාලයේ සිංහාසනයට සැබෑ උරුමය තිබුණේ දෝන කැතරිනාට.  ඇය පෘතුගීසී හමුදාවත් සහ දොන් පිලිප් සමග නුවරට යවන්නේ නුවර අල්ලගෙන පෘතුගීසී පාලනය මහනුවර ස්ථාපනය කරන්න. නමුත් පෘතුගීසීන් පරාජය කරන විමලධර්මසූරිය රජු දෝන කැතරිනා විවාහ කර ගන්නවා. එයින් උඩරට රාජ්‍යයේ  හිමිකම තහවුරු කර ගන්න විමලධර්සුරිය ඒ වනවිට දෙල්ගමුව රාජමහා විහාරයේ වැඩ සිට දළඳා වහන්සේ නුවරට වඩමවනවා.

ලංකාසර – ඇමෙරිකානු ලේඛකයා මේ පොත ලියන්නේ එම කතාව පසුබිම් කරගෙනද?

පිළිතුර – ඒ කතාවත් පදනම් කරගෙන තිබෙනවා. නමුත් පසුගිය යටත් විජිත සමය තුළද ශ්‍රි ලංකාවට පැමිණි යටත් විජිත ලේඛකයන් රැසක් විවිධ කරුණු දළඳා වහන්සේ ගැන ලිව්වා. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි වගේම ස්පාඤ්ඤ ප්‍රංශ ලේඛකයන් ද විවිධ ද කතා කිව්වා. දළඳා මාලිගය ඇතුළේ තිබෙන්නේ  වඳුරු දතක්, කිඹුල් දතක් ගෝන අඟක පොලිෂ් කරපු කෑල්ලක්. පොලිෂ් කළ ඇත් දළයක් කියල අන්තිමට කියනවා.  දළඳාව අල්ලගත්තේ යාපනේ කියල කූටෝ  කිව්වට සමහර ලේඛකයන් කියන්නේ පෘතුගීසීන් එය අල්ලගත්තේ සිරිපාදෙන් කියල.

ලංකාසර – දළදාව ගැන වැරදි ලිව්ව අනෙක් අය කවුද?

පිළිතුර – කලක් ලංකාවේ බ්‍රිතාන ආණ්ඩුකාරයේ ලේකම් හැටියට හිටපු සර් එමසන් ටෙනන්ට්  1860 වසරේ  පොතක් ලියනවා. ඔහු කියන්නෙත් මේ තිබෙන්නේ දළඳාව වෙන්න බෑ කියල 1874 දී රීස් ඩේවිඩ්ස් ලියනවා.

ඊට පස්සේ ඉංග්‍රිසි ජාතිකයන් ගණනාවක් දළඳාව දකිනවා.  ඔවුන් දකින්නේ කරඬුවක බහා තැබූ දන්ත ධාතුව . එය දකින දකින අයව කියනවා මේක නම් මනුෂ දතක් වෙන්න බෑ කියල. සර් එමස්සන් ටෙනට් පවා එහෙම කියල තිබුණා. ප්‍රසිද්ධ ලේඛක ලෙනාඩ් වුල්ෆ් කාලයක් නුවර හිටියා. ඔහු මහනුවර භාරව සිටි දිසාපතිගේ සහකාර ලෙස කටයුතු කළා. දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන කරඩු හතෙන් එකක   යතුරක් තිබෙන්නේ මහනුවර දිසාපති ළඟ. ඔහු ඒ අවස්ථාවෙන් තෙවරක් දළඳා වහන්සේ දැක තිබෙබනවා. ඊට අමතරව ඩේව් ජොනතන් ෆෝබ්ස් 1828 දී මෙය දැක තිබෙනවා.   ඒ කාලේ ඉලස්ට්‍රේටඩ් ලන්ඩන් ටයිමිස් පුව්පතේ කර්තෘ නිකොල් මෙය දැක තිබෙනවා. ඔහු දුටු දළඳා ව පුවත්පතේ සිතුවමකටත් නගා තිබෙනවා. එය බුදුන් වහන්සේගේ දතක් නම් බුදුන් වහන්සේ කියපු සෑම දෙයක්ම බොරුවක් බව ඔහු පවසා තිබුණා.

1874 දී ග්‍රෙගරි ආණ්ඩුකාරයා දුටුවා.  1875 දී බ්‍රිතාන්‍යෙය් වේල්ස් කුමාරයාත් දළඳා වහන්සේ දැකබලාගෙන තිබෙනවා.

1817 ජොන් ඩේවි බ්‍රවුන්රිග් ආණ්ඩුකාරාත්   දළඳාව දකිනවා. ඔහු  ගිහින් කියල තිබෙනවා මෙය බොරුවක් බව. ඔවුන් සියලු දෙනාම සිට ඇත්තේ එක මතයක.

ඇමෙරිකානු ලේඛකයාත්   කූටෝගේ කතන්දරය තමයි ඇත්තක් කියල සමාජ ගත කරන්නේ.

ලංකාසර – හොඳයි ඔබ මොනවද දළඳා වහන්සේ සම්බන්ධයෙන් පවතින මිත්‍යා මතයට එරෙහිව සාධක ලෙස මෙම පොත තුළ ගොනු කරන්නේ.

පිළිතුර –  එය සැකවින් කිව නොහැකියි. අපෙ රටේ තිබුණු සෑම රාජධානියකම දළඳාව සමඟ රාජ්‍යත්වය බැඳී තිබූ අයුරු අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. නමුත් කූටෝ වගේම ඉංග්‍රිසි ලේඛකයන් දැන් පවතින්නේ දන්ත ධාතූන් වෙන්න බෑ කියන එක පරාජය කරවන ප්‍රබල සාධකයක් අපට ඓතිහාසිකව පවතිනවා. ඒ 1828 වුණු සිදුවීමක්. සමස්ත ශ්‍රි ලංකාවට  ඉංග්‍රීසීන් අල්ලගත්තේ 1815 දී. මේ කාලයේ දළඳා වහන්සේට ඉංග්‍රිසි පාලකයන් අතින් ප්‍රමාණවත් පුද සත්කාර නොලැබුණ බවට පිළිගැනීමක් තිබුණා. ඒ සමගම 1828 දී  මහා නියඟයක් ආවා. ආණ්ඩුකාරවරයා බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඇහුව මොකක්ද මේකට ආගමික වශයෙන් කරන්න ඕන කියල. ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා කියල තිබෙන්නේ දළඳා ප්‍රදර්ශනයක් පවත්වලා දළඳා වහන්සේ පිටතට වැඩමවන්න එතකොට මහ වැසි වැටෙයි කියල.

මේක අහපු ආණ්ඩුකාරයා කීවේඅපි ඒක කරන්නම්… නමුත් වැසි නොවැටුණෝත් කිසිදාක යළි දළඳා වහන්සේ පිටතට ගන්නේ නෑ කියල. කොහොම හරි මේ ප්‍රදර්ශනය වෙලාවේ රටේ මිනිස්සුනට දළඳා වඳින්න එන්න බැරිවෙන තරමට මහ වැස්සක් වැස්සා. මුලු නුවරම යට වුණා. ප්‍රකට දළඳ වතුර කියන්නේ ඒකටයි.

භික්ෂූන් වහන්සේ මේ උපදෙස දුන්නේ පෙර අත්දැකීම් ඇතිවයි. අනුරාධපුර පොලොන්නරු යුගවලදී පවා මේ ආකාරයෙන් විසඳුම් ලබාගෙන තිබෙනවා. පොළොන්නරුවේ පළමුවෙනි පරාක්‍රමබාහු දෙවන පරාක්‍රමබාහු රජවරුන්ගේ කාලවලදී පවා මෙලෙස වැසි වැස තිබෙනවා.    බටහිර ලේඛකයන් කොපමණ කතා කීවත් තවමත් දළඳා වහන්සේ පවතිනවා කියන එකට හොදම සාධකය මේක. එය තහවුරු කරවන සාධක ගණනාවක් මම ග්‍රන්ථය තුළ දීර්ඝ වශයෙන් ඇතුළත් කර තිබෙනවා.

ලංකාසර –  ඔබේ ග්‍රන්ථය එළිදක්වන මේ කාලයේත් දළඳා වහන්සේ සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා රටම කැලඹීමට ලක් වුණා?

පිළිතුර – 2021 වසරේ මම මුලින් කී විවාදිත පොත රචනා කළ විද්වතා යයි කියන පුද්ගලයා ඊට කලිනුත් දළඳා වහන්සේ සම්බන්ධයෙන්  එරට සඟරාවකට ලිපියක් පළ කරමින් වැරදි කරුණ සමාජ ගත කිරීමට උත්සාහ කළා. මේ සිදුවීම් අතර යම් සමානත්වයක් දැකි හැකියි. මම හිතන්නේ බොහෝ විට වෙනත් ආගම් මිත්‍යාවක් එහි සඳහන් වන කරුණු වැරදි බවට මතයත් සමාජ ගත කිරීමට බොහෝ උත්සාහයන් ගැනෙනවා. ඒ සඳහා ආගමික කල්ලි බිහිව තිබෙනවා. ඔවුන්ගේ බලපෑම මේ අදහස් සමාජ ගත කිරීම සඳහා යම් දායකත්වයක් ඇති බව ඔවුන් මේ පසුපස සිටින බව පෙනෙන්ට තිබෙනවා.

ලංකාසර – හොඳයි  එදා මෙදා තුර රාජ්‍ය පාලනය සහ දළඳා වහන්සේ අතර පවතින සම්බන්ධය පිළිබඳව කෙටියෙන් පැහැදිළි කළොත්?

පිළිතුර  – දළඳා ව ශ්‍රි ලංකාවට රැගෙන විත් බාරදෙන්නේ රජ්ජුරුවන්ට.  ඔහු ඒ සඳහා සිය රාජ මාලිගය තුළ තබාගෙන එහි භාරකාරීකත්වය අභයගිරියට පැවරුවා. මෙරටට වැඩම වූ දවසේ ඉඳන් රජ්ජුරුවන්ට  සමීපයේ තමයි දළදා වහන්සේ  තිබුණේ. දළඳා මාලිගාව ලෙසින් අනුරාධපුර හමුව ඇති නටඹුන් තිබෙන්නේ රාජ මාලිගාව අසල,

චෝල ආක්‍රමණය  6 වැනි සියවසේ සිදුවෙද්දී අභයගිරිය භික්ෂූන් දළඳාව රුහුණට ගෙන යනවා. පාත්‍රා ධාතුව මහ විහාරයීය භික්ෂූන් රහසිගත තැනකට රැගෙන යනවා.

නමුත් ඔය තත්ත්වය වෙනස් වෙනවා පළමුවැනි විජයබාහු පොළොන්නරුවේ රජ වූ පසුව පාත්‍රා ධාතුවයි දළඳාවයි දෙකම පොළොන්නරුවට එනවා. ඉතිහාසයේදී  අපට පෙනෙන කරුණක් තමයි සොලින්ට එරෙහිව කෙරුණු  සටනේදී රට එක්සත් කිරීමට දළඳා වහන්සේ සහ පාත්‍රා ධාතූන් උපයෝගී කර ගැනීම.  මේ ධාතූන් වහසේලා දෙදෙනා අත්පත් කර ගැනීම හැම පාලකයෙකුගේම ප්‍රධාන අරමුණ වෙනවා. එය ඉතිහාසය පුරා සිදුවුණා.

කොටින්ම ඉංග්‍රීසීන් මේ රට පාලනය කරන කාලයේ තායිලන්තයේ එනම් එකල සියමයේ චූලලන්කොන් රජතුමා ලංකාවට එනවා. මේ වනවිට ආසියාවේ වැඩි ප්‍රමාණයක් තිබුණේ ඉංග්‍රිසි ආධිපතියයට නතුව. කතාවක් තිබෙනවා බෞද්ධ භික්ෂූන්  සියමය, බුරුමසය සහ ශ්‍රි ලංකාව එක් කොට වෙනම බෞද්ධ රාජ්‍යක් නිර්මාණය කිරීමේ උත්සාහයක සිටියා කියල.  කොහොම හරි චූලලන්කොන් රජතුමා දළඳා වඳින්නට මහනුවර ගියා. එහිදී ඔහු දළඳාව ඔහුගේ අතට ඉල්ලා තිබෙනවා. ප්‍රකාශ වන එක කරුණක් තමයි මේ ඇත්තම දළඳාවද තිබෙන්නේ කියල ඔහුට බලන්න. අනෙක සුද්දන්ට සහ මේ රටේ නායකයන්ට සැකයක් තිබුණා ඔහු මේ දළඳා වහන්සේ අතට දුන්නොත් මිට මොළවාගෙන යයිද කියල. කොහාම හරි පානබොක්කේ දිසාව එය ගිහියකුට ලබා දිය නොහැකි බව පවසා තිබෙනවා. එයින් සියම් රජතුමා උරණ වුණු බවත් සඳහන් වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉංගීසීනුත් දළඳාව සිය යටත් විජිතයේ පාලන කාලය තහවුරු කර ගැනීමට භාවිත කළ බවට සාධක එමට තිබෙනවා. නිදහසින් පසුව පවා රාජ්‍ය පාලනය සහ දළඳා වහන්සේ අතර සම්බන්ධය එලෙසම පවතිනවා

Exit mobile version