පරණ පත්තර කාරයන්ගෙ අලුත් වැඩේ – ද නිවුස් පේපර්

 අනුෂා රණසිංහ- 

සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සුමිත්‍ර සුසංයෝගයෙන් නිමවූ විචිත්‍ර සිනමා කෘතියක් වූ ‘ද නිව්ස් පේපර්’ හි අන්තර් අන්තර්ගත ගීතය එළිදැක්වීම පසුගිය 16 වනදා සිදු වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී.
ලංකාවේ පළවෙනි වතාවට පිටපත් රචනය, අධ්‍යක්ෂණය සහ ප්‍රධාන චරිත නිරූපණයෙන් දෙදෙනෙක් දායක වන පළමු සිංහල චිත්‍රපටිය වීමත් මෙහි එක් විශේෂත්වයක්.  “ද නිව්ස් පේපර්” චිත්‍රපටිය මිනිස් හැඟීම් ඉස්මතු කරන්න ගත්ත සිනමා වෑයමක්.
“ද නිව්ස් පේපර්” පිටපත ලියලා මේකට නිෂ්පාදකවරයෙක් හොය හොයා ඉන්න අවස්ථාවක තමයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න කැමැත්ත පළ කරලා තියෙන්නේ. ඒ සරත් කොතලාවල කියන්නේ බන්දුල ගුණවර්ධනගේ ටියුෂන් පංතියක ගෝලයෙක්. ඉතින් දවසක් ඔහුව මුණගැහිලා මේ චිත්‍රපටිය ගැන කිව්වම ඔහු එය නිෂ්පාදනය කිරීමේ කටයුතු භාරගත්තේ උදව්වක් වශයෙන්. ඒ එකක්ම එච්. ඩී.ප්‍රේමසිරිත්, රවින්ද්‍ර ගුරුගේත් මේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුත්තට සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි එතනින් පස්සේ මේ දෙන්නට තිබිලා තියෙන ප්‍රශ්නය තමයි කවුද මේක අධ්‍යක්ෂණය කරන්න්නේ කියන එක.
ඔය අතරේ තමයි එච්.ඩී. ප්‍රේමසිරියි බන්දුල ගුණවර්ධනයි කියලා තියෙන්නේ ඇයි වෙන කාටවත් අධ්‍යක්ෂණය කරන්න දෙන්නෙ, ඔය දෙන්නා නම් රඟපාන්නෙ, ඔය දෙන්නා නම් පිටපත ලිව්වේ, ඔය දෙන්නම ඕක අධ්‍යක්ෂණය කරන්න කියලා. ඒ යෝජනාව අනුව තමයි මේ දෙදෙනාම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න තීරණය කරලා තියෙන්නේ.
දැන් චිත්‍රපටයේ සියළු වැඩකටයුතු අවසන්. දැන් තියෙන්නේ මේ වෛරස් උවදුර පහව යාමත් සමඟම සිනමාශාලා විවෘත වූ පසු මේ සිනමා නිර්මාණය ප්‍රේක්ෂකයාට භාර දෙන්න.
මෙහි අඩංගු වන්නේ එක් ගීයක් පමණයි. කෙසේ වෙතත් ඒ ගීතය මේ චිත්‍රපටයේ ජීවය වී අවසන්…
මේ චිත්‍රපටයට අපූර්ව ජීවයක් ලබාදෙන තේමා ගීතය ලියන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඒ වගේම මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සේම ගීතය සංගීතවත් කරන්නේ හෙළයේ මහා සංගීතඥ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ දියණිය වන ගයත්‍රී කේමදාස. ඒ වගේම මෙහි පද පෙළට ජිවය ලබා දෙමින් ගයන්නේ විශාරද නන්දා මාලනියන්.

දොළේ දියත් නැති විය නුඹ නාවන්ට
තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්ට
කටුසර බෝග තිබුණේ බඩ පුරවන්ට
සමාවෙයන් පුතුනේ නුඹ වැදුවාට

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගීය ජනගත කිරීමට සමගාමිව මේ ගීතය විවරණය කරමින් විශේෂ කතාවක් කළේ සම්මානිත චිත්‍රපට අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී. ගීතයේ පද ගැලපීම තනු නිර්මාණය සේම එයට එක් වූ හඬ මුසුව යන කාරණා මැනවින් මතු කරමින් ජැක්සන් ඇන්තනි   සිය කතාව සිදු කළා. එමෙන්ම සිනමා නිර්මාණයෙන් ගලවා රසවිඳිය හැකි ගීත සේම ගීතය ඇසෙන වාරයක් වාරයක් පාසා සිනමා නිර්මාණයම සිහි කැඳවන කිසිදා සිනමා නිර්මාණයෙන් ගලවා රස විඳිය නොහැකි ගීත ද අපේ ඉතිහාසයේ සිනමාවේ ඇති බව උදාහරණ සමඟින් පෙන්වා දුන් ජැක්සන් ඇන්තනි  මේ ගීතය නම්  සිනමා නිර්මාණය සමඟ බද්ධ ගීයක් බවට තමාට හැඟෙන බව ඉඳුරා ප්‍රකාශ කර සිටියා.


Exit mobile version