කාබනික අභියෝගය හිස් මුදුනෙන් ගත්තු රාජාංගනයේ ගොවි මහත්තයා…

වසර දෙකක් තිස්සේ කොම්පෝස්ට් පොහොර නිපදවීමේ යෙදෙන , ඒ තුළින් අදවන විට ඉතා යහපත් ආදායම් මාරගයකට හිමිකම් කියන අපූරු ගොවි මහතෙක් ලංකාසරට හමුවිය.

ඔහු යාය 02, වම් ඉවුර , රාජාංගනය පදිංචි , අයි. පී අතුල ප්‍රියන්ත ය. ඔහුගේ ගෙවත්ත දකින ඕනෑම අයෙකුට ඒ පිළිබඳව සොයා බලන්නට සිත්වනු නිසැකය. ලංකාසර මේ සොයා බැලීම කලේ එවන් පසුබිමක සිටය.

ගෙවත්තේ වගා කටයුතු සිදු කිරීමට සිත පහළ වුවද , ඔහුට තිබූ මුදල අග හිඟකම් නිසා ම රසායනික පොහොර සපයා ගැනිම දුෂ්කර වී තිබුණි. ඒ දුෂ්කරතාවයම  පන්නරයක් කොට ගනිමින් , ඉවතලන දෑ භාවිතා කරමින් ඔහු තම ගෙවත්ත සරුසාර කිරීමට ඔහු විසින් ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය ආරම්භ කර ඇත. අද වන විට ඉන්  ආර්ථිකය ජය ගෙන රටටම ආදර්ශයක් වීමට ඔහුට හැකිව තිබේ.


ඔහු තම කටහඬ අවදි කළේය…….

අතුල ප්‍රියන්ත
අතුල ප්‍රියන්ත

“මගේ ගෙවත්තේ කෙසෙල් , කහ, ඉඟුරු , ගස්ලබු ,මඤ්ඤොක්කා වගා කරල තියෙනවා . ඒවට රසායනික පොහොර මිලට ගන්න මුදල් නැති නිසා තමයි මං කොම්පෝස්ට් පොහොර ගෙදරම හදාගත්තෙ. ඒ පොහොරවලින් මගෙ වගාව හිතුවටත් වඩා සරු වුනා…

එදා මට කොම්පෝස්ට් පොහොර කඳු දෙකක් විතර දාගෙන ඒවා කපල හදාගත්ත. ඒත් පොහොර හලාගන්න සල්ලඩයක්වත් මට එදා තිබුනේ නෑ . ඒ හින්ද කෑලි පිටින්ම තමයි වගාවට යෙදුවේ. මගෙ ගෙවත්තේ වගාවට මේ පොහොර හරියටම හරි .

මම අද මහා පරිමාණයෙන් මේ ව්‍යාපාරය කරගෙන යනවා.. මගෙ ළඟ මේ වෙනකොට දිනපතා ම අට දෙනෙක් වැඩ. එක දිනකට මං කම්කරුවන්ට පමණක්  රුපියල් 12000ක් ( දොළොස් දාහක්) වියදම් කරනවා…..

ගොම, කුකුල් පොහොර , ගිනිමානා, ඇල්බීසියා , පිදුරු , ජපන් ජබර, සැල්වීනියා , පිදුරු ,  තමයි කොම්පෝස්ට් පොහොර වලට ගන්නේ. වැව් පොහොර පසුත් ගන්නවා. මේවා වියළි තට්ටුවයි අමු තට්ටුවයි ලෙස තට්ටු අහුරනවා. කෙසෙල් කොටත් තට්ටුවක් ලෙස යොදා ගන්නවා. මේ විදිහට කඳු  හදල .. ඒ කඳු දවස් 21න් 21ට පෙරලනවා. මෙහෙම වාර දෙකක් පෙරලලා තිබුන විදිහට ම වහනවා   ඊට පස්සෙ දිරල පොහොර බවට පත් වෙනවා . මේවා සල්ලඩි කරල තමයි පොහොර විදිහට යොදා ගන්නෙ. දින 21න් ගොඩ කපලා නයිට්‍රජන් දියර විදිහට එකත් කලාම ඉක්මනින් දිරාපත් වෙනවා….

මේ කටයුත්තෙදි මං වැව් පොහොර පස් ට්‍රැක්ටරයක් සඳහා රුපියල් 4000ක්, ගොම පොහොර ට්‍රැක්ටරය ක් සඳහා රුපියල් 8000ක්, ජපන් ජබර , සැල්වීනියා ට්‍රැක්ටරයක් සඳහා රුපියල් 3000ක් , වියදම් කරනවා. වැව් පස්වල විවිධ බීජ වර්ග තියෙන්න පුලුවන් . ඒ බීජ විනාශ වෙන විදිහට ඕන යොදා ගන්න. නැත්තම්  වගාවෙ විවිධ වල් වර්ග පැලවෙන්න පුලුවන්. මේ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් ලක්ෂයකින් කොම්පෝස්ට් පොහොර කිලෝග්‍රෑම් හතළිස් දහසක් ගන්න පුලුවන්. එප්පාවල රෝක් පොස්පේට් මුදලට අරගෙන මං මේ පොහොරවලට මිශ්‍ර කරනවා.

අද වෙන විට ඉල්ලුමට සරිලන්න පොහොර නිපදවාගන්න බැරි තත්වයක මං ඉන්නේ … ඒ තරමට ඉල්ලුම තියෙනවා. පුද්ගලික සමාගම් රුපියල් දහයට දොළහට තමයි පොහොර ඉල්ලන්නෙ …..ඒත් පොහොර කිලෝ එකක් අවම රුපියල් 15ට වැඩි වුනොත් තමයි මට ලාභයක් තියෙන්නෙ ..

මේ පොහොර භාවිතා කරල මං මගෙ ගෙවත්තේ තියෙන කෙසෙල් වලින් සති දෙකකට රුපියල් හැටදහසක ආදාය ක් ලබනවා. සමහරු වැව් පස් ගෙනත් පුත්තලමෙන් ගෙනෙන අලු එකක් එක්ක මිශ්‍ර කරල ත් කොම්පෝස්ට් පොහොර කියල මිනිස්සු රවට්ටනව . ඒවායෙ කිසිම ගුණාත්මක බවක් නෑ ..නමුත් මං කවදාවත් එවැනි වංචා වැඩ කරන්නෙ නෑ …..

රාජාංගනය ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී තුමා ඇතුළු කෘෂිකර්ම නිලධාරීන් ගෙ උපදෙස් මත තමයි මං මේ ව්‍යාපාරය කරගෙන යන්නෙ.  රටින් කාබනික පොහොර ගෙන්නන්න ඕන නෑ ..රජයෙන් අපිට සහයෝගය දෙනවා නම්…..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යනුවෙන් ඔහු පැවසුවේ අව්‍යාජ සිනහවකින් මුව සරසා ගනිමිනි……

Exit mobile version