හතර අතේ යන මඩ අතරේ අස්වෙන්න හේතුව ඉරාජ්ම කියයි!

තරීෂා අබේවික්‍රම –

ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ තනතුරක් දරමින් සිට හදිසියේ ම එයින් ඉල්ලා අස් වූ බව ප්‍රසිද්ධ පුවතක් බවට පත් ව තිබේ. ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද මෙම තනතුරෙන් ඉවත් වීමට ආසන්නත ම හේතුව යෝෂිත රාජපක්ෂ මහතා විසින් සිදු කරන පහර දිමක් බවට ද ප්‍රචාරයක් පවතී. එවැනි පහර දීමක් තමා සිදු නොකළ බවට යෝෂිත මහතා විසින් කරන ලද ප්‍රකාශයක් ද මාධ්‍ය ජාල හරහා සැරිසරමින් පවතී. තැන තැන කතා පසෙක ලා අපි මේ ගැන ඉරාජ්ගෙන් ම විමසුවෙමි.

“මාධ්‍ය හරහා දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් කියන කතා සම්පූර්ණ බොරු. මට කවුරුත් කිසිම පහර දීමක් කළේ නැහැ. කොවිඩ් වසංගත තත්ත්වය නිසා බොහොම පරෙස්සමින් ගෙදරට වෙලා ඉන්නවා. ඒ අතරේ මගේ අලුත් වැඩ කිහිපයක් සමාජගත කරන්න මම කටයුතු කරගෙන යනවා.”
ඉරාජ් කීවේ ය.

තනතුරෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු පැවසූවේ, තමාගේ පෞද්ගලික හේතුවක් මත නාමල් රාජපක්ෂ ඇමතිවරයාට ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දුන් බවයි. එසේ වුවත් ජාතික තරුණ සේවා සභාවේ තමා ආරම්භ කළ වැඩපිළිවෙළ ඇමතිවරයාගේ අනුදැනුම ඇතිව දිගටම ක්‍රියාත්මක කරන බව ද ඉරාජ් කීවේ ය.


“අපේ රටේ අලුත් නිර්මාණ එළිදක්වන තරුණයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව හඳුනාගෙන, ඔවුන්ගේ නව නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට හෝ ඒවායින් රටට ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන තත්ත්වයට ඒවා දියුණු කරන්න මං ඒ වෙනුවෙන් ම වෙබ් පිටුවක් හදලා ඒ අය ට ලියාපදිංචි වෙන්න ඉඩ සැලැස්සුවා. මේ වෙද්දි නව නිර්මාණකරුවෝ, නව නිෂ්පාදකයින් දහසකට ආසන්න පිරිසක් ඒකේ ලියාපදිංචි වෙලා ඉන්නවා.

තරුණ සේවා සභාවේ පුටුවක වාඩිවෙලා, තනතුරක් දරමින් ඔය වැඩේ කරනවාට වඩා මගේ තියෙන ජාලගත සම්බන්ධතා එක්ක ලොකු පරාසයකට මේ තරුණයින්ට අවස්ථා ගොඩනගන්න මට හැකියාව තියෙනවා. ඒ නිර්මාණ වැඩිදියුණු කර ව්‍යාප්ත කිරීම සඳහා මුදල් අවශ්‍ය අයට මම පෞද්ගලික ආයතන එක්ක කතා කරලා මුදල් ලබා දීමටත් වැඩපිළිවෙළක් හදලයි තියෙන්නේ. වසංගත තත්ත්වය පහව ගියාට පස්සේ නාමල් ඇමතිතුමා එක්ක එකතුවෙලා ගම් මට්ටමෙන් ගිහින් සොයා බලලා මේ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් පරාසයකට ගෙනයන්න මං කටයුතු කරනවා. මේ ගැන ඇමතිතුමා එක්ක කතා බහ කරලා තමයි මං එතුමාට ඉල්ලා අස්වීම ලබා දුන්නේ.

නවීණ තාක්ෂණය භාවිතයෙන් රටේ සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයක් සිදු කිරීම සඳහා එතුමාට ලොකු වැඩපිළිවෙළක් තියෙනවා. මගේ තාක්ෂණික දැනුම හා සමාජ ජාල සබඳතා එතුමාට ඒ සඳහා බෙහෙවින් උපකාර වේවි. මම එතුමාගේ ඉදිරි කටයුතුවලට සහාය වෙනවා. රට වෙනුවෙන්, තරුණයින් වෙනුවෙන් යමක් කරන්න මට තනතුරු අවශ්‍ය නැති බව මම තේරුම් ගත්තා. අනික මම ඒ දැරූ තනතුරට කිසිම මුදලක්, වැටුපක් අරගෙන නෑ. මම තනතුරක් දැරුවා, වැඩ කළා විතරයි. මම මුදල් බලාගෙන තනතුර දැරුවේ නෑ.

හැබැයි රාජ්‍ය ආයතන එක්ක වැඩ කරද්දි මම දැක්ක දෙයක් තමයි බොහෝ සේවකයින් හා නිළධාරීන් හරි ම කම්මැළියි. මේ හැම ක්ෂේත්‍රයකට ම වැඩ කරන්න පුළුවන් තරුණ පිරිසක් එකතු වෙන්න ඕනේ. සාම්ප්‍රදායික ව මුල් බැසගෙන තියෙන පොතට වැඩ කිරීමේ ක්‍රමය වෙනුවට අලුත් තාක්ෂණය යොදාගෙන හැම ක්ෂේත්‍රයක් ම ඉතා ඉක්මනින් කාර්යක්ෂම කළ යුතුයි. තාක්ෂණයත් එක්ක වැඩ කරද්දි කාලය අසීමිත ව යොදාගන්න පුළුවන් නිසා වැඩවල ප්‍රමාදයන් වළක්වා ගන්න පුළුවන්. ඉදිරියේදී මේ දේවල් වෙනස් වේවි. මට දේශපාලනවත්, තනතුරුවත් වැඩක් නෑ. මට අවශ්‍ය රට වෙනුවෙන් යහපත් දෙයක් කරන්නයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉරාජ් කීවේ එලෙසිනි.

Exit mobile version