සම්මානය භාර දුන් සුජාතා අලහකෝන් ලංකාසරට කී කතාව

සුජාතා අලහකෝන් සිය සම්මානය යළි භාර දුන්නාය. සම්මානයත් සමග තමන්ට ප්‍රදානය කළ ලක්ෂ දෙකහමාරක මුදලත් සංවිධායකයන් වෙත යැව්වාය.

සම්මාන ලැබූ සිය නිර්මාණයේ කොටස් ඇය වෙනත් කෘති වලින් උපුටාගෙන තිබුණු බව සාධක සහිතවම සනාථ විය. සම්මානය ප්‍රදානය කළ විනිසුරු මඩුල්ලේ සිට සියල්ලන්ගේම පැටිකිරිය හෙළි කරමින් මහා ගිනි විජ්ජුම්රබයක් පහුගිය දින කීපය පුරාම පත්තු උනේය.

ඒ හා හෝවේ හඬ යන්තම් මැකී යන්නට දී චෝදනාවට හා ගර්හාවට ලක් වූ සුජාතා අලහකෝන් ඇමතුවෙමු.


ඒ සාහිත්‍යකරණයේ දී සිදුවිය හැකි ගර්හිතම සිදුවීමක් අවසානයේ දී තමන් ලැබූ සම්මානය භාර දුන් පසු සියල්ල නිමා වනබව අප විශ්වාස කරන නිසා නොවේ.   සුජාතා අලහකෝන් කියන කතාවටත් සාධාරණ ඉඩක් ලැබිය යුතු නිසාය. එය නෑසූ ලෙසින් සිටින්නට තරම් සාහිත්‍ය සමාජයක් මුග්ධ විය යුතු නැති නිසාය.

සම්මානය භාර දුන් සුජාතාට කියන්නට ඇති කතාව වෙනුවෙන්  ලංකාසර ඉඩ හසර වෙන් කරන්නේ එබැවිනි.

“ මේ වරද මං කළා කියන තැන ඉඳන්ම කතා කරමු. එතකොට මේක තේරුම් ගන්න පහසුයි.

මුලින්ම ඔබට කියන්න ඕන මේ පොත මා ලියන්නෙ ඇයි කියන කතාව. කිසිසේත්ම මේක සම්මාන අභිලාෂයකින් ලියපු පොතක් නෙවෙයි. මේ පොත ලියන්න පාදක වන නිමිත්ත මම මුලින්ම කියන්නම්.

මා හොඳින්ම දන්න ළමා නිවාසයක් තිබුණා. මේ ළමා නිවාසයෙ පිටතින් පෙණුන විදිහට ඉතාම ශික්ෂිත තැනක්. පාලක මණ්ඩලයේ හිටියෙ සමාජයේ බොහොම කීර්තිමත් ජීවිතයෙ සැඳෑ සමය ගතකරමින් හිටිය ප්‍රභූවරු.

එක දවසක් මේ ළමා නිවාසයේ පාලිකාව ආවා. ඇවිත් කිව්වා මහා ගුජුප්සාජනක කතාවක්. ඒ කතාව මට ඉදිරිපත් කරන්නේ දරුවෙකුගෙ අත් අකුරකින් ලියවුණු ලියැවිල්ලකින්. දෙයියනේ ඒ ලියවිල්ලේ තියෙන්නෙ මේ දරුවා එක එක දවසට අර ප්‍රභූ මහල්ලො ටික  එකතු වෙලා දූෂණය කරලා තියන විදිහ. එකා කරපු අශික්ෂිත වැඩ ඒ දරුවා පියවරින් පියවර ලියලා තිබුණා.

මම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් විදිහට මේ ලියවිල්ල මුල් කරගෙන රටේ සෑම වගකිව යුතු  ආයතනයකටම කතා කළා. පොලිසියට කතා කළා. ගත හැකි නීතිමය පියවර ගැන සොයලා බැලුව. හැම තැනම ඉතාම ධනාත්මක කතා කිව්වත් කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ. එකම දේ වුනේ මේ හෙළිදරව්ව කළ දැරිය පාලක ප්‍රභූ මහල්ලො ටික එකතු වෙලා පන්නලා දැම්මා. ඇය යන එන මං නැතිව මහ මගට වැටුණා.“

මම මොනතරම් උත්සාහ කළත් ඒ බිහිසුණු අසාධාරණයට එරෙහිව කිසිම දෙයක් කරගන්න බැරි වුණා කියන පසුතැවීම මා තුළ තිබුණා. මෙන්න මේ වස්තු විෂය අරන් තමයි මම  මේ නිර්මාණය කළේ.

නිරමාණ අනුභූතිය සොරකම් කළා කියලා, එහි පෙළගැස්ම හරය වෙන තැනකින් හොරකම් කළා කියලා කිසිම කෙනෙක් චෝදනා කරන්නෙ නෑ. බලපු හැමෝම කතා කරලා කෘතිය ප්‍රභල නිර්මාණයක් කිව්වා. මේ කෘතියට යොවුන් සාහිත්‍ය සම්මානයක් ලැබෙන්නෙ කිසිවෙක් ස්ඵර්ශ නොකළ මානයක් අතිශය ප්‍රභලව සහ නිර්මාණාත්මකව යොවුන් නවකතාවක් ලෙස පෙළ ගැස්වීම නිසා බව ඔවුන්ගෙ හේතු පාඨවල තිබුණා.

මේ ගැටලුව ආවේ  බාහිර වර්ණනා කිහිපයක ඡේද කීපයක් යම් කෘතිවලින් උපුටා ගැනීම සම්බන්ධයෙන්.

ඇත්තටම එය මා අතින් වුණ බරපතල වැරැද්දක්. මා එය පිළිගත්තා. මා සම්මාන සහ මුදල් භාර දුන්නේ ඒ තත්වය තුළ. අනික මේ ගැටලුව මේ තරම් තීව්‍ර විදිහට මතු වෙන්නෙම මේ පොතට සම්මානයක් හිමි වුණු නිසා. ඒ වැරැද්ද වෙන්නෙත්  මා තුළ කුඩා අවධියේ සිට තිබුණු ඇබ්බැහියක් නිසා.

පුංචි සන්දියෙ පටන් මම රුවන් වැකි, යම් යම් කෘති වල මා ආකර්ෂණයට පත් කළ රසවත්  වාඛ්‍ය ඛණ්ඩ වෙනම එකතු කරනවා. මෙතනදි මා අතින් සිදු වුනේ මට කරන්නම අවශ්‍ය පරිසර වර්ණනා කිහිපයක් මට වඩා ඉහළ පරිකල්පනාවකින් යුතුව පෙළ ගැස්වා තිබූ තැන් කිහිපයකින් උපුටා ගැනීම. එය වරදක්. මා එහි මුල් නිර්මාණ අයිතියට ගරු කරලා නෑ.

ඒත් මා හිතුවෙ නෑ මේ සාහිත්‍ය සමාජය තුළ     මරණීය වරදක් කළ අපරාධකාරියක් ලෙස ගල්ගසා මරා දමන්න නියම කරයි කියලා. ඔවුන් මගේ පවුල, මගේ දේශපාලන අතීතය  විතරක් නෙමෙයි, මගේ නිර්මාණ ජීවිතයේ සමස්ථය කුඩු කරන්න පෙළ ගැහිලා හිටියා…

ෆේස් බුක් එක කියන්නෙ මට නුහුරු තැනක්. මේ සංවාදය ෆේස් බුක් හරහා යන වග මා දන්නෙත් මට කතා කරලා මගෙ හිතවතුන් කිව්වට පස්සෙ.

හරි… මගෙ අතින් වරදක් උනා. එය නිවැරදි කරන්න ඕන නම් ඒ තැන ෆේස් බුක් එක ද?.   වරදක් හෝ ප්‍රශ්නකාරි තත්වයක් විසඳගන්න සංවාදයක් ඇති කරන්න මීට සංයමයක් ඇති වේදිකාවක් සාහිත්‍ය සමාජයකට ඇත්තම නැද්ද?.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මං වරද පිළිගන්නම්. ඒත් මං මේ කෘතිය හරහා කතා කරන්න හදපු සමාජ ප්‍රස්තුතය මග හැරලා  යන්න එපා. ඒ කථිකාව මා නැතත් වෙන කවුරුන් හෝ මේ සමාජය වෙනුවෙන් පවත්වාගෙන යා යුතුයි.

 

Exit mobile version