අපි ජීවත් වෙමින් ඉන්නෙ යුද්දෙත් එක්ක ඔතලා දුන්නු මිලිටරිකරණයේ උත්කර්ෂය සමගයි

යුද්ධයට විරුද්ධව ට්‍රෝජන් කාන්තාවො නිර්මාණය කළේ නැවත මේ වගේ තැනක ඉපදෙන්න එපා කියලා හිතමින්...

ෂර්ලි සමරසිංහ –

ධර්මසිරි බණ්ඩාරනායක ලාංකේය නාට්‍ය හා සිනමා ප්‍රවාහයේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨතම නිර්මාණකරුවෙකි. මේ විශිෂ්ට මිනිසා, මානව හිතවාදියා, මතු නොව දාර්ශනික නිර්මාණකරුවා  සිය නිර්මාණ අවලෝකන‍යෙන් වත්මන් සමාජය දෙස හෙළන විමසුමකි මේ.

 

මේ වසංගතය නිර්මාණ රස විඳින්න හුරු වූ ප්‍රේක්ෂකාගාරය   මුලුමනින් හිස් කරලා ‍නේද?

වෙළෙන්දෙක් කඩයක් ඇරගෙන ඉන්නේ මිනිස්සු බඩු අරගෙන යයි කියලා හිතලා. ලෝක ආර්ථික ක්‍රමයත් එක්ක ලංකාවේ ‍වෙ‍ළෙඳ පොළ මත ගොඩ නැගුණු සෑම ව්‍යාපාරයකටම මේ තත්ත්වය බලපෑමක් එල්ල කරනවා. නමුත් මෙය ජරා ජීර්ණ විදිහට බලපෑවේ මිනිසුන්ගේ ප්‍රඥාවට ගෝචරවන ලෙස ගොඩනැගුණු කලා ප්‍රවාහයට. කලා කෘතියක්  බිහිවන්නේ ආවට ගියාට නෙමෙයි. ක්ෂේත්‍රගතව පාදඩ පන්තියක් බිහි වුණා. අමතක කරන්න නරකයි කිසියම් අධ්‍යාපනයක් ලබපු දේශපාලන අරමුණක් වෙනුවෙන් ඉදිරියට  යන්න කල්පනා කරපු තරුණ මනුස්ස පිරිසකටයි ලංකාව අයිති.   ඒ අරමුණ සහිතවයි අපි ගොඩ නැගු‍ණේ.


පුද්ගලයෙක් විදිහට ගත්තහම මාව වර්ණනා කර ගන්න මම උත්සාහ කරන්නේ නෑ . මට උවමනා වුණේ සමාජය වෙනුවෙන් හොඳ නිර්මාණය කරන්න. මගේ පළමු නාට්‍යය “ඒකාධිපති”.  ඒ නාට්‍යයකින් තුප්පහි පාලක පන්තිය පිළිබඳ ඉස්මතු වුණා. මොන ක්‍රමයකින් හරි මේ ජරා ජීර්ණ වූ සමාජය එතනින් පාතාලය වෙත රැගෙන යන පාදඩ පන්තියක් හැමදාම මැතිවරණවලට ඉදිරිපත් වුණා. උන්ව ආරක්ෂා කරන්න මිනිසුන්ව මරණ, තර්ජනය කරන, ගරහන  පිරිස් සමඟ ගැටෙන්න කලා කරුවන්ට බැහැ. කලා කරුවන් කියන්නේ කිසියම් ශික්ෂණයක් ඇති පිරිසක් විදිහටයි මම දකින්නේ.

“ඒකාධිපති” නාට්‍යය 1976 වසරේදීයි මා නිර්මාණය කළේ. එහි නිමිත්ත වුණේ ෆැසිස්ට්වාදී අනාගතයක් හිමි ජන කොටසක් පිළිබඳ ඉඟියක්. එය ඉදිරියේ වැඳ වැටෙන්න උත්සාහ කරන ජන කොටසක් පිළිබඳ මටත් කලින් සයිමන් නවගත්තේගම කතා කරලා තිබුණා. සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන වැනි නාට්‍යකරුවන්ද මේ සමාජ ක්‍රමවේදය පිළිබඳ කිසියම් ඇඟවීමක් කළා. “සුභ සහ යස” නාට්‍යයෙන් සයිමන් නවගත්තේගම පෙන්වලා දුන්නා මිනිසුන් විනෝදයට පත් කරමින් සිදුවන්නට යන මහා විනාශය පිළිබඳ. ඒ නාට්‍ය ඇතුළේ සාකච්ඡා වුණා මේ යථාර්ථය.  අපේ නාට්‍ය තුළ ඉඟි සැපයුවා විනාශය ආරම්භ වන බවට .

හෙන්රි ජයසේන “මකරා” නාට්‍යය නිර්මාණය කළා. ඒ 1970 දශකයේ. මා එහි ලාන්ස්ලොට්  චරිතය රඟපෑවා. ඒ චරිතය  මා බෙහෙවින් ඇලුම් කළ චරිතයක්. පසු කාලයක හෙන්රි ජයසේන නාට්‍යය නතර කළාට පසුව මා නැවතත් “මකරාක්ෂයා” නමින් එහි නව නිෂ්පාදනයක් කළා. ඒ නාට්‍ය සමාජ ගත කරලා මං ලබපු ඵලය මොකක්ද ? හැබැයි තෘප්තියක් තිබෙනවා. මිනිස්සු ශාලාව පිරී ඉතිරෙන්න ඇවිත් නාට්‍යය නැරඹුවා. කුඩා ළමයින්ගේ සිට වැඩි වියේ අය දක්වා ඔලු වලට පෝෂණයක් ලබා දුන්නා. “මකරා” කියන්නේ අපෙන් වෙන් වුණු සතෙක් නෙවෙයි අප අතරම සිටින දුෂ්ටයෙක්. නාට්‍යකරුවෙක් විදිහට සමාජයට ආලෝකයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. 88 සහ 89 වකවානුවේ මා “ධවල භීෂණ” නාට්‍යය නිර්මාණය කළා. එය ෂෝන් පෝල්ගේ කෘතියේ පරිවර්තනයක්. එය වේදිකාවට ගෙන එද්දීත් විවිධ බාධක මා ඉදිරියට පැමිණියා.  විවිධ වූ කල්ලි කණ්ඩායම් අතර ජනතා විමුක්ති පෙරමුණ පවා මට මරණ තර්ජන එල්ල කළා.

“ඔය නාට්‍ය නවත්වන්න. නැත්තං කොල්ලෙක් ඇවිත් හිසට වෙඩි තියලා යයි… මේ නාට්‍යය අපේ ව්‍යාපාරයට විරුද්ධයි… විජේවීර සහෝදරයාගේ පැවැත්මට විරුද්ධයි.” එවැනි තර්ජන මධ්‍යයෙයි මා නාට්‍ය කළේ. වර්තමානයේ ඉන්න තරුණ නාට්‍ය කරුවන් මා ලැබූ මෙවැනි අත්දැකීම්  කවදාවත් විඳලා නැහැ. මා එවැනි යුගයක් පසු කිරීම ගැන සතුටක් වගේම මට ඇති වෙන්නේ දුකක්. ඒ නාට්‍ය බැලූ විශාල පිරිසක් මරණයෙන් ගැලවුණා. ජීවිතය පිළිබඳ අභියෝගයක් ජය ගැනීමක් විදිහටයි මට දැන් හැඟෙන්නෙ. මේ නාට්‍ය වර්තමානයේ පවා විටින් විට රඟ දැක්වෙනවා.

“ඒකාධිපති” කළ වකවානුව භීෂණය පැතුරුණු කාලයක්. එක් පසෙකින් දකුණේ භීෂණය.  අනෙක් පසින් එවකට ගොඩනැගී තිබුණු එල්. ටී. ටී. ඊ. සංවිධානය. අපි නිර්මාණකරුවන් විදිහට සිංහල දෙමළ කියලා මිනිසුන් බෙදා වෙන් කළේ නෑ. දකුණේ ජීවත් වුවත් උතුරට ගියත් අපි හැංගිලා වැඩ කළේ නෑ. මගේ නම් වාසගම් එල්. ටී. ටී. ඊ. සංවිධානය පවා දැනගෙන ඉන්න ඇති.

ඔවුන් අපේ නිර්මාණත් නරඹලා තිබුණා. ඒ කාල පරිච්ඡේදය තුළ අපේ ජීවිත උදුර ගන්න ඔවුන් උත්සාහ නොකළේ සමහර විට අපට ජීවත්වෙන්න සමාවක් දුන්න වෙන්නත් පුළුවන්. යුද්ධය වහාම නතර කළ යුතුයි කියන හැඟීම උතුරට ගිය හැම වෙලාවෙම මට ඇති වුණා.  එල්. ටී. ටී. ඊ. ප්‍රදේශවල පවා දෙමළ ජනයාට සිංහල නාට්‍ය අපි ප්‍රදර්ශනය කළා.

දෙමළ ජනයා අත් විඳින දුක් පීඩා පිළිබඳ සන්නිවේදනය කළ හැකි නාට්‍ය තෝරාගත්තා. අවුරුදු දෙදහස් ගණනකට පෙර නිර්මාණ වුවත් “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යය  නිර්මාණය කරද්දී  දකුණෙන් මගෙන් ඇහුව ප්‍රශ්නය උඹ මේක කරන්නේ කාවෙනුවෙන්ද කියලා. උඹට ඕක මෙහෙ කරන්නැතුව එහෙ ගිහින් කරන්න බැරිද කියලත් ඇහුවා. ජීවිතයේ කිසිම දාක මෙහෙම තැන්වල ඉපදෙන්න හොඳ නැහැ කියා ප්‍රාර්ථනා කරමින් තමයි එවකට “ට්‍රෝජන් කාන්තාවෝ” නාට්‍යය නිර්මාණය කළේ. ඒ නාට්‍යයේ තිබුණේ සම්පූර්ණයෙන්ම යුධ විරෝධය ගැබ්වෙලා. අදත් මම සතුටු වෙනවා එවන් අභියෝග හමුවේ එම නාට්‍ය නිර්මාණය කරන්න මට හැකි වීම ගැන.

මානව ඛේදවාචකයන්  පුනරුච්චාරණය කරන්න වීම නිර්මාණකරුවෙක් අත් විඳින සං‍වේදී කාරණාවක්?

මිලිටරි යුනි‍ෆෝම් ඇඳගත්තු මිලිටරි ක්‍රියාකාරීන්ගේ ප්‍රබල බව අපිට යුද්දෙත් එක්ක ඔතලා දුන්නා. ඒව මිනිස්සු ගිල්ලා. මිනිස්සු සන්තෝෂ උනේ මිනී මරන එක ගැන. ඔවුන් සතුටු වුණේ ඒ මිලිටරි අභිප්‍රායන් ඉටු කරගැනීම දැකලා.   මුළු ලෝකයක් ගොඩ නැඟෙන්නේ යුද්ධයට එරෙහිව. මෑත  අත්දැකීම් දිහා හැරිලා බලන්න. පහුගිය දවසක අමරිකානු කළු ජාතිකයකුව පොලිසිය අයකු විසින් ගෙල පාගා ඝාතනය කරනවා. ඒ සිද්ධියෙන් පසු නොහිතපු ගමනක් යන්න ඇමරිකාවට සිදු වනවා. මිනිසුන් ගහන්න පටන් ගන්නේ මිලිටරි නායකයන්ට. එතනින් නොනැවතී යුධමය බලය දෙදරුම් කන මට්ටමේ එරෙහි වීමක් ඇතිවුණා. ඇමරිකාව තමයි ලෝක පොලිස් කාරයා. එහෙම රූපයක් ගොඩ නගාගෙන මිනිස්සුන්ව මර්නදය කරන බලවේගවලට කොරොනාව හෝ වෙන කිසිවකින් හෝ උත්තරයක් ලැබෙන්න නියමිතයි නම් ඉන් මුළු ලෝකයටම උත්තරයක් ලැබිලා තියෙනවා. දුර්දාන්ත පාලනයක් තුළ කිසිදාක චින්තකයන් බිහි වෙන්නේ නැහැ.

කලාකරුවා ගොඩනඟන්න උත්සාහ කරන මානව වාදය සමාජය තුළින්ම බැහැරවී ගොස් ඇති බව ඔබ විශ්වාස කරනව ද? 

මේ තියෙන්නෙ ඔලු හෝදපු වටපිටාවක්. නිදහස් මනසක් මේ සමාජ ක්‍රමය තුළ පුද්ගලයකුට හිමි නැහැ. මේ මොහොත ගනිමු.  කොරෝනාව ජාතික විපතක්. ජාතික විපත මැද්දේ දේශපාලකයින් බල අරගලයක යෙදෙනවා නම් අපරාධයක්.  මේ යථාර්ථය නාට්‍යකින් කිව්වට මිනිස්සු පිලිගන්නෙ නෑ.  කලාකරුවන්වත් වෙහෙසට පත් කරලා  ඔවුන් එක්ක ගණුදෙනු නොකරන සමාජයකදි කලාකරුවන් ලෙස අපි ඉන්නෙත් විශාල අවදානමක.

ඉන්දියාවේ බිහිවුණු දැවැන්තම චින්තකයා බුදුන් වහන්සේ. උන් වහන්සේ ඕපපාතිකව බිහි වුණු කෙනෙක් නෙවෙයි. පහුගිය දිනක මට ප්‍රංශයේ ජීවත්වන මිත්‍රයෙකු කතා කළා. ඔහුගේ මව මිය යාම හේතුවෙන් එහි ජිවත්වන වැඩිහිටි පිරිසකට දානයක් දෙන්න ඔහු අදහස් කරගෙන හිටියා.  වැඩිහිටි අයට ආරාධනා කළත් ඔවුන් කැමති වු‍ණේ නෑ නොමිලේ ඒ දානය ලබා ගන්න. ඔවුන් කිව්වා ඔබගේ මවට අපි සුගතිය ප්‍රාර්ථනා කරන්නම් කියලා. නමුත් අපේ රටේ සහනාධාර මුදල ලබා ගන්න ගිහින්  මිනිසුන් සිය දිවි නසා ගන්න පවා පෙළඹෙන තත්ත්වයකට පැමිණි අයුරු අප දැක්කා. කෑමක් බීමක් නින්දක් නැති මිනිස්සු මොන තරම් අපේ රටේ ඉන්නවාද?.

ඔබ සිනමාවට එන වකවානු‍වේදී අපේ ර‍ටේ පොතපත කියවපු වේදිකා නාට්‍යයක් බලපු පිරිස් තමයි වැඩිපුර චිත්‍රපට ශාලාවටත් පැමිණියේ. මිනිසුන් ඉන්න තැනෙන් ඉදිරියට ගන්න සිනමාවෙන් වෙනසක් කරන්න ඔබත් පෙලඹෙනවා.?

ඇත්ත වශයෙන්ම ඒ යුගය නියෝජනය කරපු කලාව අපි පරිහරණය ක‍ළේ කලාවේ වෙනසක් ඇති කිරීමට. එහිදී පුරෝගාමින් විදිහට මම හඳුන්වන්නේ වසන්ත ඔබේසේකර  ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා වැනි සිනමා කරුවන්. ඔවුන් තමන්ගෙ නිර්මාණවලින් පෙන්නුවා මෙහෙමත් තරුණ පිරිසක් අපට ඉන්නවා කියලා. හීන ලෝකවල ඉන්න සුකුමාර පෙනුම තියෙන චරිත ඔවුන් ගේ සිනමාවෙන් ඈත් කළා. ලේ මස් ඇට නහර වලින් හැදුණු දහදිය සුවඳ හා උගත් කම සමාජ වටිනාකම් තේමා ගත කරන්නට ඔවුන්ට හැකි වුණා. ඒ නිසා ජනතාවට සමීප විය හැකි සිනමාවක් ගොඩ නගන්නට හැකි වුණා කියලයි මම විශ්වාස කරන්නේ.

සමාජය තුළ ගොඩනැගෙන ප්‍රේක්ෂක චින්තන හැඩ වැඩ ඇති රූප දිහා බලා හිඳීමෙන් ඔබ්බට, මිනිස්සුන් අත්විඳපු සමාජ යථාර්ථය ප්‍රශ්න කිරීම ඒවා ජයග්‍රහණය කරා අරමුණක් සහිතව ගමන් කිරීමෙන් ප්‍රේක්ෂකයා නියෝජනය කරන සිනමාවක් පහළ වුණා. ඒ චිත්‍රපට බලන කොට අපත්  අමන්දානන්දයට පත් වුණා. මේ චිත්‍රපටයේ ඉන්නේ මම නේද කියලා හිතන තරමට  වෙනස ප්‍රබල වුණා.

“අහස් ගව්ව” “හන්තානේ කතාව” විශ්ව විද්‍යාලය නියෝජනය කළ තරුණයන් ගේ ගැටලු සාකච්ඡා වුණ සිනමා කෘති. ඒ තුළ නැවුම් බවක්  අප දුටුවා. මල්මල් සාරිය ඇඳගෙන හිටපු කාන්තා චරිත මල් වැටුණු චීත්ත ගවුම් අඳින්න පටන් ගත්තා. රැකියා විරහිත භාවය, දරිද්‍රතාවය සමග ගැටෙන වටපිටා  දර්ශනතල ලෙස භාවිත වුණා. මා “හංස විලක්” චිත්‍රපටය නිර්මාණය කරද්දී ඒ කාරණා මටත් බලපෑවා. සුගතපාල  සෙනරත් යාපා,  විජය ධර්ම ශ්‍රී කිසියම් පෝෂණයක් ඇති කළ හැකි සිනමාවක ලකුණු පහළ කළා. ධර්මසේන පතිරාජයන් ඒ මාවතේ ඉදිරියටම ආවා. “හංස විලක්” ප්‍රදර්ශනයේදී ප්‍රේක්ෂකයන් අති බහුතරයක් එය නැරඹුවා.

හැම පැත්තෙන්ම චිත්‍රපටයෙන් ඵලදායක අර්ථයක් සමාජගත කරන්නට අපට හැකි වුණා. මා පොඩ්ඩක්වත් කනගාටු වෙන්නේ නැහැ චිත්‍රපටියක් හදන්නෙ නැතුව මෙහෙම කාලය ගත කරනවා නේද  කියලා. නමුත් කණගාටුවට කාරණය වන්නේ අර පිරුණු ප්‍රේක්ෂකාගාරය අද අපට අහිමි වෙලා නේද කියලා දැනෙනකොට. දෙවියන් පා නොතබන බිම පෙරේතයෝ පිනුම් ගහනවා කියලා කතාවක් තියෙනවා. අද ඒ තත්ත්වය අපට උදා වෙලා. අපට යාබද රට ඉන්දියාවෙ සිනමා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනෙන් දින ඉහළ යනවා. සත්‍යජිත්රායි වැනි ප්‍රබුද්ධ සිනමාකරුවන් ‍වෙ‍ළෙඳ සිනමාවෙන් බැහැරව කරපු නිර්මාණ පවා ප්‍රේක්ෂකාගාරය වැළඳ ගත්තා.

අපේ රටෙත් සිනමා සාහිත්‍යයෙන් පෝෂණය වෙච්ච චින්තනයක් ගොඩනැගෙමින් පැවතුණා. එය කඩා වැටීමටත් වඩා   පැහැර ගත්තා කියනවා නම් නිවැරදියි. දේශපාලකයින් අපේ රටේ මිනිස්සුන්ගේ වින්දන පරාසය මංකොල්ල කාළා ඉවරයි. ඒක අප්‍රසන්න අත්දැකීමක්. අපි එය බරපතළ විදිහට හෙළා දැකිය යුතුයි. වාරණය නියාමනය හා පාලක මණ්ඩල මගින් අපේ රටේ කලාවට තිබුණු නිදහසත් අහිමි කළා.

අපි තමයි සමාජය මෙහෙය වන්නේ   කියන පිරිසක් මීට කලින් හිටියේ නෑ. ඒ මෙහෙයවන්නන් පිරිසට භික්ෂූන් වහන්සේලා පූජකවරු එකතු වෙලා සමස්ථය ජරාජීර්ණ  වුණා. දේශපාලනීකරණය තුළ උගත්කම  නැති වුණා. විශ්ව විද්‍යාල මට්ටමින් තිබුණු සංවාද අහෝසි වුණා. අලුතින් චින්තන පරම්පරාවක් ගොඩනැඟීම වැලකුණා. ජාත්‍යන්තර වශයෙන් නිර්මාණකරුවන් පිළිබඳ තිබුණ අධ්‍යයනය මග හැරිලා ගියා.  වාරණය නිසා අප සෑහෙන දුරට හෙල්ලූම් කෑවා.  කරන්න අවශ්‍ය ආකාරය ගැන ඔවුන් අපට උපදෙස් දෙන්න ගත්තා.

නමුත් අපි  බියට පත් වුණේ නැහැ. යුදමය පසුබිම තුළ   අපි යුද්ධයට විරුද්ධව කතා කළා . ඇතැම් ප්‍රදේශ වල අපේ නාට්‍ය ප්‍රේක්ෂකාගාර   බුද්ධි අංශ වල නිරීක්ෂණයට ලක් වුණා. ඔය අතර 88 සහ 89 වකවානුවේ ජීවිතය රැක ගන්න ලංකාවෙන් පළා ගියේ නැත්නම් ඔබට මේ සම්මුඛ සාකච්ඡාව දෙන්නට මට ඉඩක් ලැබෙන්නත් නෑ. මේ මොහොත මග හැරලා ගියොත් ඔබට ජීවත් වෙන්න ඉඩක් ලැබෙයි කියලා මට හිත කීවා. විජේවීර ඝාතනය සිදු වීමෙන් පසුවයි මා නැවතත් ලංකාවට එන්නේ. ඒ වන විටත් මේ නාට්‍ය වෙනුවෙන් කතා කරන්න හිටපු රිචඩ් සොයිසා වැනි මාධ්‍යවේදීන් ඝාතනය කර තිබුණා. ඒ චිත්‍රය සරල නැහැ. තවමත් ඒ අඳුරු චිත්‍ර පාට ගන්වනවා.

පසුගිය වකවානුව නිර්මාණ කරුවෙකු දීර්ඝ නිවාඩුවක් ?

මං මගේ ජීවිතේ මෙච්චර කාලයක් එක දිගට ගෙදර ඉඳලා නම් නැහැ.  ඒක හාස්කමක්  විදිහට මම දකින්නෙත් නෑ. ඒ වකවානුවේ මට ගොඩක් දෙවල්  අහන්න දකින්න ලැබුණා .  ඇඳිරි නීතිය හා ලංකාවට ගෙනාපු අලුත් නීති රීති එක්ක හැමෝටම ජීවත් වෙන්න වුණා. ඇඳිරි නීතිය කාලෙ අපි එළියට බැස්සෙ නැහැ. ඒ පොලීසියට බය‍ේ. වාහන ගන්නවා උසාවියට දානවා කිවුවම මිනිස්සු පොලිසියට බය වුණා.

අපි නියාමයට යටත්ව ජීවත් වුණු මිනිස්සු නෙවෙයි. හිට්ලර්ගේ පාලනය තුළ එහෙම නියාමනයන්ට යටත්ව මිනිස්සු ජීවත් වුණා. ඔහු අත පය ඔසවන විදිහෙන් මම හෙට වෙනකොට ජීවත්  වෙනවද කියන එක තීරණය කරලා තිබුණා. ඒ නිසා කවුරුත් සන්තෝෂ වෙන්න ඕන නෑ.   බලහත්කාරකම් මත ගොඩනැගුණු නීතිරීති පද්ධතියට යටත්ව  මිනිසුන් මේ රට ඇතු‍ළේ ජීවත් වෙලා තියෙනවා .

දැන් කොවිඩ් යටපත් කරනවාටත් වඩා සමාජයක් විදිහට අප සියල්ලටම යටත් වන සමයක් හදලා ඉවරයි. අන්න වටපිටාව ඇතුළෙ පුරාජේරුව ගැන කවුරු හරි කල්පනා කරනවා නම් ඔහු මන්ද බුද්ධිකයි. මං වැලඳගෙන තියෙන්‍‍නේ අනතුරක් කියන එක ඔහුට මතකයක් නෑ.  කොවිඩ් වලට පෙර  මගේ යාළුවන් කීප දෙනෙක් මට කිව්වා පුළුවන් තරම් ඉක්මනින් ඔබගේ ජීවිතේ ගැන ලියන්න කියලා. කොරොනාවත්  එක්ක කල් ගත ‍වෙද්දි  මගේ මිත්‍රයා අහනවා ලියන්න පටන් ගත්ත ද කියලා. දැන් ධර්මය හොඳම වෙලාව ලියන්න කියලා ඔවුන් කියනවා. මා ඔබට කිව්වනේ වෙන අණක් දෙනවා උඹලා මේ අණ පිළිපැදපියව්, පිළිනොපැද්දොත් උඹලට නීතියානුකූල දඩුවම් කරනවා කියලා. මං නීත්‍යානුකූලව දඬුවම් කරනවට බයේ ඇඳ උඩට නගින්න ගිය නැහැ.  ඒ වගේම මගේ යාළුවෝ සතුටු කරන්න biograpy එක ලියන්න මේසෙට වාඩි වුණෙත් නෑ.  මේක ලියලා දොරට වඩින දවසේ ප්‍රධාන දේශනය කරන්න මෙයාව ගෙන්වන්න ඕන කියලා මළඉලව් අදහසක් මගේ ඔලුවට ආවේත් නෑ .

මං කියන්නේ ලියන්න පුළුවන් වෙලාවක ද අපි මේ ඉන්නේ. නැවත ආවර්ජනය කරන්න පුළුවන් ජීවිතයක් ඒ ජීවිතය තුළ තියෙනව ද,?.  මේක ගතවෙන්නෙ ලියන්න කඩදාසියක් අතට ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. කොරෝනාව ගැන පොතක් පිටවෙනවා. ටෙලි නාට්‍ය නිර්මාණය වෙනවා. කොරෝනා මැරිලා නෑ… ඉතින් අලුත් කලාවක් ගොඩ නගන්න හදනවා. ඒත් එතන මලගිය සාහිත්‍යයක් ගොඩ නැගෙන්නෙ .   ආත්මය තේරුම් ගත්ත සාහිත්‍යකරුවෙක් බිහි වෙන්නේ නෑ එතන . ඒක කීයක් හරි හොයා ගන්න කරන උත්සාහයක්..  සයිමන් නවගත්තේගම කියවා ගත්ත කෙනෙක් බොහෝ විට අද  නැහැ. එවැනි මිනිසුන් හමු වෙනවා නම් අපිට කලාව ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන් .

ධර්මසිරි බණ්ඩාරනායක  කලා කරුවෙක් ලෙස අනාගතයේ පවතින්නෙ කොහොම ද?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මං මේ රටේ උපන් කෙනෙක්.  පුළුවන් තරම් නිර්ව්‍යාජව ජීවත්වෙන්න නිර්මාණකරණයේ යෙදෙන්න  උත්සාහ කරන කෙනෙක්.  මගේ ලෝකෙ මට ඉන්නේ  උතුම්ම මනුෂ්‍යයන් දෙන්නයි. ඒ මගෙ අම්මයි තාත්තයි.  දවසකට ඔවුන් දෙපළ මතක් වෙන වාර ගණන ලියන්න කියල කිව්වොත් කොච්චර පාරක් ලියවෙනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ .   මගේ මරණය දක්වා මං ඔවුන්ට නමස්කාර කරනවා. ඔවුන් දෙදෙනා තුළ බිහි වීමෙන් කිසියම් ආත්මීය ගනුදෙනුවක් මා ලබා තිබෙනවා. හොරෙක් නොවෙන්න වංචනිකයෙක් නොවන්න  කොල්ලකරුවෙක් නොවෙන්නට ඔවුන් මට ආලෝකය ලබා දී තිබෙනවා. මගේ ශපථතය තමයි   ඔවුන් ලබා දුන් ආලෝකය කවදාවත්  අන්ධකාරයක් වෙත හරවන්‍‍නේ නැහැ කියන එක. මං අතීතයෙ වැඩ කළේ, මේ මොහොතේ පවතින්නේ    ඒ පිළිබඳව මා තුළ තියෙන විශ්වාසයත් එක්ක.

Exit mobile version