ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරුගේ සේවය අත්හිටුවයි

සදෙව් රත්නායක-

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු වන ප්‍රසන්න රොඩ්‍රිගෝ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගියදා  ක්‍රිකට් ආයතන පරිශ්‍රය තුළ ඇතිවූ සාකච්ඡාවක් අතරතුර ප්‍රසන්න රොඩ්‍රිගෝ   අවිනීත ලෙස හැසිරුණු බව සඳහන් කරමින් ඔහුගේ සේවය අත්හිටුවීමට මූලික පරීක්ෂණයකින් පසුව ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා තීරණය කළ බව ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කළේය.

ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර කරුණක් සම්බන්ධව පැවැති එම සාකච්ඡාවේ දී අලෙවි ප්‍රධානි වශයෙන් කටයුතු කරන (Head of Marketing) උපුල් බණ්ඩාර  සමග ඔහු මෙසේ උණුසුම් වාදයක පැටලුණු බවත්, ඒ මොහොතේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා   ද එහි සිටි බවත් ආරංචි මාර්ග පවසයි. 

ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු හිස උදුම්මවාගත් පුද්ගලයකු බවත්, සියලු සේවකයන් ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා සේවය කරමින් සිටින ක්‍රිකට් ආයතනය වැනි වෘත්තීමය ස්ථානයක එලෙස අවිනීත හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු පවසා ඇත. 


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර අවස්ථාව කිහිපයකදීම ඔහු මෙලෙස හැසිරී ඇතැයි ද, ක්‍රිකට් මාධ්‍ය අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට නිදහසේ සේවය කිරිමට ඉඩ ලබා නොදෙමින් ඔවුන්ට බාධා වන අයුරින් කටයුතු කර ඇතැයි ද වාර්තා වෙයි. 

 

Exit mobile version