විස්සයි 20 ලෝක කුසලානය කල් දැමීම ස්ථීරයි

නිල නිවේදනය ජූනියේදි

සදෙව් රත්නායක-

ලබන ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේදී ඇරැඹීමට නියමිතව තිබූ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමට දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුවී ඇතැයි ද, මේ මස 28 වැනිදා පැවැත් වීමට නියමිත සාමාජික රටවල් අතර දුරකතන සම්මන්ත්‍රණයේදී ඒ පිළිබඳ දැනුම් දෙනු ඇතැයි ද ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කරගත් ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්‘ වෙබ් අඩවිය අනාවරණය කළේය.

පසුගිය සතියේදී විස්සයි 20 ලෝක කුසලාන තරගමාලාවේ සත්කාරකත්වය දරන ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් ආයතනයෙන් ලබා ගත් යාවත්කාලීන තොරතුරු මත පදනම්ව අයි.සී.සී.ය එම තීරණයට එළැඹ ඇති බව ද එම වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එම වෙබ් අඩවියට අනුව 28 වැනිදා පැවැත්වෙන රැස්වීමේදී විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව සම්බන්ධව පැණ නැගී ඇති ගැටලු සහ කොවිඩ් වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර ඒ සම්බන්ධව දැනට ඇති නිර්දේශ සාමාජික රටවලට දැනුම් දීම එහිදී සිදු කිරීමට නියමිතය. විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීමේ නිල නිවේදනය එම රැස්වීමෙන් පසුව ලබන ජූනි මාසයේ මුල් භාගයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර ඇතැයි ‘ඉන්සයිඩ් ස්පෝර්ට්ස්‘ වෙබ් අඩවියේ දැක්වෙයි.


දැන් අයි.සි.සී.ය හමුවේ පැණ නැගී ඇති විශාලතම ගැටලුව වී ඇත්තේ විස්සයි20 ලෝක කුසලාන තරගමාලාව කල් දැමීම නොව එය නැවත පැවැත්වීමට කාලසීමාවක් වෙන් කර ගැනීමය. ලබන වසරේදී ද විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවක් පැවැත්වෙන බැවින් අයි.සී.සී.යට ඇති එකම විකල්පය වී ඇත්තේ කල් දමනු ලබන තරගමාලාව 2022 දී පැවැත්වීමටය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තරගමාලාව කල් දැමීමෙන් පසුව මේ වසරේදී කිසිදු අයි.සී.සී. තරගමාලාවක් නොපැවැත්වීම මත ඔවුන්ට කිසිදු ආදායමක් නොලැබෙන බැවින් සාමාජික රටවල් අතර ආදායම් කොටස් බෙදා දීමක් සිදු නොවන බව වාර්තා වෙයි. ඇතැම් සාමාජික රටවල ක්‍රිකට් ආයතන පැවැත්ම රඳා පවතින්නේ අයි.සී.සී.ය වෙතින් ලැබෙන චෙක්පත් ගෙවීම් මතය. එය අහිමිවීමෙන් අදාළ රටවල ක්‍රිකට් ආයතන පවත්වාගෙන යනු ලැබීමේ ගැටලු ද මතුවිය හැකි බවට එම වෙබ් අඩවිය අනතුරු අඟවයි.

 

Exit mobile version