පෙනුණු ඉලක්කය බොඳ වෙයි… අවසන් කඩුළු 03 ලකුණු 2කට බිඳ වැටෙයි… ඔස්ට්‍රේලියාවට ලකුණු 259ක ඉලක්කයක්!

චරිත් අසලංක හුදකලා සටනක... පන්දු 106ක දි ලකුණු 110ක්...

ශ්‍රී  ලංකා ඉනිම 258කට සීමා වී තිබේ. තව ලකුණු 25ක් වත් ඉලක්කයක් ලබා ගනු ඇතැයි 46 වැනි පන්දු ඕවරය විට සිතිනි.  හත්වන කඩුල්ල වෙනුවෙන් වනිඳු හසරංග හා විශිෂ්ට පිතිකරණයක යෙදුණු චරිත් අසලංක විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් සිටියහ. 8 වැනි කඩුල්ල ලෙස ලකුණු 110කට චරිත් අසලංක දැවී යන විට ලකුණු 256කි.  ඉතිරි කඩුලු දෙක ලකුණු 02ක් අතර බිඳ වැටුණේය.

සිවු වන එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙමින් ඇත්තේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දීය.  කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතීත අත්දැකීම් සහිතව පන්දු රැකීම තේරූහ.

ඔස්ට්‍රේලියානුවෝ ශ්‍රි ලංකා මුල් පෙළ සුනු විසුණු කළහ.  නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකි.  පසුගිය තරගය වර්ණවත් කළ පැතුම් නිශ්ශංක ලකුණු 13කි. කුසල් මෙන්ඩිස් ලකුණු 14කි. මේ මහා බිඳවැටීම මැද තරගයට යම්  බලාපොරොත්තුවක් ගෙන ආවේ ධනංජය ද සිල්වා සහ චරිත් අසලංකය. දැවැන්ත පීඩනය දරාගෙන  ලකුණු 34ට කඩුළු 03ක් බිඳ වැටී ඇති අවස්ථාවේ ලකුණු 101ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නට චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට හැකි විය. ධනංජය සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. ඔහු ලකුණු 60කට දැවී ගියේය. අනෙක් අන්තය පෙරහර යනවා සේ බිඳ වැටෙද්දී අසලංක අල්ලාගෙන සිටියේය. ඔහු ලකුනු 110ක් ලබා ගත්තේය.  නායක දසුන් ශානක ලකුණු 04කට දුවද්දී දැවී ගියේය. දුනිත් වෙල්ලාලගේට ලබා ගත හැකි වූයේ ලකුණු 19කි. චාමික කරුණාරත්නට ලකුණු 07කි.

වනිඳු හසරංග නොදැවී සිටියේය.  48 වැනි ඕවරයේ එක් පන්දුවක්වත් ඔහු ක්‍රීඩා කලේ නැත. අනෙක් අන්තයේ සිටි මහීෂ් තීක්ෂණ පන්දු පහක් ක්‍රීඩා කළේය.  ලකුණු ලැබුණේ නැත. අවසන් පන්දුවට පැති මාරුවක් ඔස්ට්‍රේලියානුවෝ අපේක්ෂා කළහ. ඊට අවශ්‍ය ඉඩ ලබා දුන්නේය. මහීෂ් තීක්ෂණ මේ උගුලට හසුවුනේය. පැති මාරුනොකර අවසන් පන්දුව ඕවරය  ක්‍රීඩා කිරිමට සිටි වනිඳු හසරංග නොවිමසා  48 වැනි ඕවරයේ  අවසන් පන්දුවේ දී  කිසිම විමසීමකින් තොරව ලකුණක් ලබා ගැනීමට පැමිණි මහීෂ් තීක්ෂණ දුවද්දී දැවී ගියේය.


නියතවම මීට වඩා වැඩි ලකුණකට යා හැකිව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 258කට දැවී ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු යැවීමේ දී ග්ලෙන් මැක්ස්වෙල්  ලකුණු 49කට කඩුල්ලක්, මැතිව් කුහ්නෙමන් ලකුණු 56ට කඩුළු 02ක්, පැට් කුමින්ස් ලකුණු 37ට කඩුලු 02ක්, මිෂෙල් මාෂ් ලකුණු 29ට කඩුළු 02ක්, ලැබූහ.

Exit mobile version