රැකියා සඳහා ඕමානයට ගොස් සිටිය දී ඕමානයේ සුරක්ෂා නිවසේ විවිධ ගැටලුවලට මුහුණදුන් කාන්තාවන් දෙදෙනෙක් අද (27) අලුයම 4.40ට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ලංකාවට පැමිණියහ.
එම කාන්තාවන් දෙදෙනා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළෝය.
ඕමානයේ සිට මෙරටට පැමිණි කාන්තාවක් මෙසේ කීවාය.
“මම රැවටීමකට ලක්වුණා ඒජන්සියට. මට අසනීප වුණාට පස්සේ මට ලංකාවට එන්න ඕනේ වුණාම, මේ කොටේෂන් එක දුන්නේ එම්බසියේ කුෂාන් කියන පුද්ගලයා. ලක්ෂ 15ක කොටේෂන් එකක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔප්පු කරන්න සාක්ෂි. කුෂාන් පිළිගන්නේ නැති වුණාට සාරා නංගි, දිලූපා අක්කා ඔක්කෝම කියනවානේ වෙන දේ. අපි කියන්නේ CIDයට මේ තොරතුරු හොයන්න. දැනුත් මේ විදියම තමා. තානාපති කාර්යාලයේ දැනුත් 130ක් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි. Safe House එක ඇතුළේ හිරකරගෙන තමා ඉන්නේ දොරවල් වහගෙන. අපි පාන්දර 3යි Safe House එකෙන් පැනලා පාර දිගේ ඇවිදගෙන යනකොට.”
ඕමානයේ සිට මෙරටට පැමිණි කාන්තාවකගේ සැමියෙකු මෙසේ කීවේය.
“විදේශ සේවා එක ඇතුළුව තමා මේ දේවල් වෙන්නේ. මොකද කුෂාන් නිතරම ආරක්ෂා කළේ විදේශ සේවා එක. මම දන්න දෙයක් මම මාස ගානක් විදේශ සේවා එකට ගියා. ගිය නිසා මම දන්නවා මුදල් නැතුව කිසි දෙයක් කරන්න බැරි බව. ඒ නිසා මම අන්තිමට මුදල් ගෙවලා තමයි බිරිඳව ලංකාවට ගෙන්නුවේ.”
මෙම කාන්තාවන් දෙදෙනා ලංකාවට පැමින තිබුණේ ඔවුන්ගේ සහ ඥාතීන්ගෙන් ලැබුණු මුදල්වලින් ටිකට්පත් ලබාගෙනය.
දෙරණ –







