දරුවෙකුට බත් කටක් දිය නොහැකි තරමට දරිද්‍රතාවය ඉහවහා ගිය හිඟමනට වැටී ඇති රටේ හිඳී ගිය ඩොලර් සංචිතයේ අවසන් අඩියත් හූරාගෙන වියදම් කරමින් ජනාධිපතිවරයා සිය උපදේශකයෙක් ලෙස මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් ඊජිප්තුවට ගෙන ගියා නොවේ දැයි අද (17) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ප්‍රශ්න කළේය.
ඔහු කියා සිටියේ මාලදිවයින් රජය තමන් විසින් මේ ගමනට මොහොමඩ් නෂීඩ්ට ඩොලර් වියදම් නොකළ බව ප්‍රකාශ කර ඔහු මේ ගමනට සම්බන්ධ වීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවය.
මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේද පැවසුවේය.
“මාලදිවයිනේ මොහොමඩ් නෂීඩ් කතානායකවරයා පත් කළා තනතුරු දෙකකට. එතුමාව එක තනතුරකට පත් කළා කාලගුණය පිළිබඳ සහ පරිසරය පිළිබඳ ජනාධිපති උපදේශකයා හැටියට.“
“නෂීඩ් කතානායකවරයා ජනාධිපතිවරයා එක්ක ඊජිප්තුවට ගියා. කවුද මුදල් ගෙව්වෙ. ජනධිපතිවරයා ඊජිප්තුවට යනකොට තෙල් නැවක් ඇවිත් වරායෙ එළියෙ නැංගුරම් දාගෙන ඉන්නවා. මාසෙකට වැඩියි. කෝටි 250කට වැඩිය ගෙවන්න ඕන ප්‍රමාද ගාස්තු. ජනාධිපතිවරයා නෂීඩ්ව අරගෙන ඊජිප්තු ගියා. කාගෙ සල්ලි ද මේ.?“
“මාලදිවයින් පාර්ලිමේන්තුවෙ සන්නිවේදන මාධ්‍ය අධ්යක්ෂ හසන් සියා කියනවා අපිනම් මුදල් වියදම් කළේ නෑ නෂීඩ්ට ඊජිප්තුවට යන්න කියලා.“
එහෙමනම් කවුද මුදල් වියදම් කළේ. අපි ඩොලර් නැතිව ඉන්න මේ වෙලාවෙ තෙල් නැව් වරායෙ නවත්තගෙන ඉන්නකොට රටේ ළමයින්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න විදිහක් නැතිව දෙමව්පියන් ලතවෙනකොට, පෝෂ්‍යදායී කෑමක් නැති මිනිස්සු අතරෙ මන්දපෝෂණය පැතිරෙනකොට ජනාධිපතිවරයා අපට කියනවා කැපකිරීම් කරන්න කියලා. ඔහු නෂීඩ් අරන් යනවා ඊජිප්තුවට.
රමේෂ් පතිනරණ – රජයේ මුදල් මාලදිවයින් කතනායකවරයා ගේ ඊජිප්තු සංචාරය වෙනුවෙන් වියදම් කළේ නෑ කියලා මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ ගැන ඔබතුමාට දැනුම්වත් කරන්න කතා කළේ.
මුජබර් රහුමාන් – එතුමා එහෙම කිව්වට මාලදිවයිනේ පාර්ලිමේන්තුවත් කියනවා අපේ සිල්ලිවලින් නම් ගියෙ නෑ කියලා. එහෙමනම් එතුමා ගියෙ කාගෙ සල්ලිවලින් ද? ඔබතුමා කියන්න එහෙනම් ඒ සල්ලි කාගෙ ද?
රමේෂ් පතිරණ – පෞද්ගලික සල්ලිවලින් නෂීඩ් ගෙ
මුජබර් රහුමාන් – නෂීඩ්ට මාර කැක්කුමක් තියෙන්නෙ අපේ රටේ පරිසරය ගැන. ඒ කියන්නෙ මෙහොමඩ් නෂීඩ්ට ලංකාවෙ පරිසරය ගැන එයාගෙ ඩොලර් වියදම් කරගෙන ගිහින් කතා කරනවා.
එහෙ විමර්ශනයක් තියනවා නෂීඩ්ට කොහොමද එයා මේ ගමන ගියෙ කියලා. එයාගෙ තනතුරේ හැටියට එයාට තව රටක තනතුරක් දරන්න බැහැයි කියන මතය මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් කරලා තියනවා කියලා අද ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා.
එහෙම තියෙද්දි මොහොමඩ් නෂීඩ් තමන්ගෙ ඩොලර් ටිකත් වියදම් කරගෙන අපේ රට වෙනුවෙන් ගියෙ ඇයිද කියන එක නම් ප්‍රශ්නයක්.
රමේෂ් පතිරණ – ඔහු ලංකාවට ආදරෙයි. ලංකාවෙනෙ ඉගෙන ගත්තේ.
මුජබර් රහුමාන් – බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම ආදරේ කරන කට්ටිය ලංකරගන්න. හැබැයි එහෙම ආදරය කරන කට්ටිය හොයාගෙන ලංකරගන්න ගිහින් තමයි රටට මේ විනාශය වුනේ…







